"මුහුණු තුනක් සහිත මිනිසෙක්"

Image copyright AFP
Image caption මහාචාර්ය ලෝරට්න්ට් ලන්තියෙරි (Prof Laurent Lantieri) - ඉහළ පිංතූරයේ ජෙරෝම් හැමන් පසුකළ අවස්ථා දැක්වෙයි

මුහුණ සැකසීමේ බද්ධ කිරීමක් සඳහා දෙවතාවක් භාජනය කෙරුණ ලොව පළමු තැනැත්තා "තමා දැන් යහපත් තත්වයේ පසුවෙන" බව පවසයි.

ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කෙරෙන එම මුහුණු බද්ධ කිරීම වාර්තා වන්නේ ප්‍රංශයෙනි.

සිය දෙවන සැත්කම සිදු කර මාස තුනකට පසු ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ ජෙරෝම් හැමන් (Jérôme Hamon) නම් එම ප්‍රංශ ජාතිකයා, තමාට දැන් "සුවයක් දැනෙන" බව සඳහන් කළේය.

ඔහුගේ පළමු මුහුණු බද්ධය සිරුරින් ප්‍රතික්ෂේප කරන ලද්දේ පසුගිය වසරේ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා දෙන ලද ප්‍රතිජීවක ඖෂධ නොගැළපීමෙන් මතු වූ සංකූලතා හේතුවෙනි.

ඉන් අනතුරුව ජෙරෝම් හැමන්ගේ පළමු මුහුණු බද්ධ කිරීම් ඉවත් කරනු ලැබ ඇත.

එතැන් පටන් පරිත්‍යාගශීලියකු විසින් තමාට ගැළපෙන මුහුණු කොටස් සපයන තෙක් ඔහුට පැරිස් නගරයේ රෝහලක ගත කිරීමට සිදු වූ කාලය මාස දෙකකි.

එම කාලය පුරා ඔහු එහි රැඳී සිට ඇත්තේ "මුහුණක් නොමැති" තත්වයක බව පැවසෙයි.

Image copyright AFP/GETTY
Image caption මුහුණේ බද්ධ කිරීම් සඳහා යොමු වූ පළමු කාන්තාව Isabelle Dinoire

ජෙරෝම් හැමන් අර්බුදයකට මුහුණ දෙන්නේ, ජානගත රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ මුහුණේ හැඩය වෙනස් කෙරෙන ආකාරයේ ගෙඩි විශේෂයක් (tumours) මතු වීමත් සමඟය.

ඒ සඳහා 2010 වසරේ ශල්‍ය කර්මයක් සිදු කරන ලද අතර එමගින් සිදු කෙරුණ ඔහුගේ පළමු මුහුණු බද්ධය සාර්ථක වී ඇත.

එහෙත් 2016 වසරේ දී ඉහත සඳහන් කළ පරිදි, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් සඳහා ඔහුට දෙන ලද ප්‍රතිජීවක ඖෂධ ගැනීමත් සමඟ සංකූලතාවත් හටගෙන ඇති අතර, පළමු බද්ධ කිරීම් ශරීරයට අනුගත නොවීමේ ලක්ෂණ පහළ වෙන්නට විය.

ඒ අතර ඔහු පටක ක්ෂය වීමේ ආබාධයකට ගොදුරුව ඇත.

හැමන්ගේ පළමු මුහුණු බද්ධ කිරීම් ඉවත් කරනු ලැබ ඇත්තේ ඉන් පසුවය.

"මුහුණක් නොමැතිව" සිටි එම මාස දෙකක කාලය තුළ ඔහුට පෙනීම, ශ්‍රවණය සහ කතා කිරීමේ හැකියාව අහිමි විය.

පසුගිය ජනවාරි මාසයේදී සුදුසු අවයව පරිත්‍යාගශීලීයෙකු හමුවීමෙන් අනතුරුව දෙවන සැත්කම සිදු කරනු ලැබුණි.

තවදුරටත් සංකූලතා මතුවීම වළක්වාලීම සඳහා දෙවන ශල්‍යකර්මය සිදු කිරීමට පෙර, හැමන්ගේ සිරුරේ රුධිරය පිරිසිදු කිරීම සඳහා විශේෂ ප්‍රතිකාර කිරීමට සිදුව ඇත.

Image caption මුහුණේ බද්ධ කිරීම් මගින් රූපය ලද ගිනි නිවන භටයෙක්

ප්‍රංශ මාධ්‍ය විසින් ඔහු හඳුන්වා දී තිබුණේ "මුහුණු තුනක් සහිත මිනිසා" ලෙසය.

ඔහුගේ නව මුහුණ තවමත් මෘදු මෙන්ම චලනය නොවන මට්ටමක පවතී. හිස් කබල, සම සහ ඔහුගේ මුහුණුවර තවදුරටත් සැකසීමට නියමිතය. නමුත් සුවය ලැබීම පිළිබඳ ඔහුට ඇත්තේ යහපත් බලාපොරොත්තුවකි.

"මම මේ අලුත් මුහුණ පිළිගත්තේ නැති නම් දරුණු තත්ත්වයක් ඇති වෙන්න තිබුණා. එය අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් අප දැන් මෙතනට පැමිණ සිටිනවා. ඔක්කොම හොඳින් සිදු වුනා. මේ තමයි මම," හැමන් සිය අත්දැකීම විස්තර කරන්නේ එවැනි වචන මාලාවක් යොදා ගනිමිනි.

"මම වයස හතළිස් තුනයි. මේ මුහුණ පරිත්‍යාග කළ පුද්ගලයාගේ වයස විසි දෙකයි. ඉතින් ඒ අනුව මටත් දැන් වයස විසි දෙකයි" තවමත් පැරිස් නගරයේ 'ජෝර්ජ් පොම්පිඩු' රෝහලේ ප්‍රතිකාර ලබන ජෙරෝම් හැමන් මාධ්‍යයට ප්‍රකාශ කළේය.

පැය ගණනාවක් ගත වූ ශල්‍යකර්මය මෙහෙයවනු ලැබුවේ මහාචාර්ය ලෝරට්න්ට් ලන්තියෙරි (Prof Laurent Lantieri) විසිනි. ඔහු දෑත් සහ මුහුණත බද්ධ කිරීම් පිළිබඳ විශේෂඥයෙකි.

වසර අටකට පෙර 2010 වසරේත් හැමන්ගේ පළමු මුහුණත් බද්ධය සිදු කර ඇත්තේ ද මහාචාර්ය ලන්තියෙරි විසිනි.

"මුහුණත් දෙකක් බද්ධ කිරීම සිදු කළ හැක්කක් බව දැන් අපි දන්නවා. එය තවදුරටත් අත්හදා බැලීමක මට්ටමින් පරීක්ෂණ අවධියේ පවතින ක්ෂේත්‍රයක් නොවෙයි," මහාචාර්යවරයා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

Image copyright NYU LANGONE
Image caption ශල්‍ය කර්මයකින් අළුත් මුහුණක් නිමවා ගත් තැනැත්තෙක්

මේ අතර මුහුණත් බද්ධ කිරීමේ සැත්කම් පිළිබඳ අදහස් දක්වමින් නිර්වින්දක වෛද්‍ය බර්නාඩ් ශොලි (Bernard Cholley) කියා සිටියේ "බද්ධ කිරීමේ සැත්කමක් සඳහා බලා සිටීමට සිදු වන කාලය පිළිබඳ නිශ්චිතවම කිව නොහැකි," බවය.

"මෙවැනි දුෂ්කර තත්ත්වයක් පසු කරමින් පෙරට යන රෝගියෙකු සතු ධෛර්යය පිළිබඳව මම පුදුම වෙනවා."

2005 වසරේදී ලොව පළමු මුහුණු බද්ධය සිදු කරන ලද්දේත් ප්‍රංශයේදීය. එතැන් සිට එවැනි සැත්කම් හතළිහක් පමණ ලොව පුරා සිදු කර ඇත.

සබැඳි පුවත්;

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර