"පුස් බැඳුනු, දුර්වර්ණ වූ" කොළඹ ඉඩම් ලේඛන

  • 2018 අප්‍රේල් 19
Image copyright MINISTRY OF HOME AFFAIRS

කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ඉඩම් ලේඛන ඔප්පු තැන්පත් කර තිබෙන කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය ඉතා ඉක්මනින් නවීකරණය කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බදාදා (අප්‍රේල් 18) කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ සංචාරයක නියැළුණු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට තවමත් ඉතා පැරණි ක්‍රමයට ගබඩා කර තිබෙන ලේඛන දැක ගැනීමට හැකි වූ බව ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

"ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තත්ත්වය ඉතා කණගාටුදායකයි. මේ ලේඛනවලට කිසිම ආරක්ෂාවක් නැහැ, ඇතැම් ලේඛන දුර්වර්ණ වෙලා පුස් බැඳිලා කොළ එහෙමම දිරලා ගිහින්," ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන එම ස්ථානයේ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත දහස් දක්වමින් පැවසීය.

"කොළඹ තමයි ශ්‍රී ලංකාවේ වටිනාම ඉඩම් ටික තියෙන්නේ. ඒවා පුද්ගලයන් සතු ඉඩම්, සමාගම් සතු ඉඩම්, ඇතැම් ඉඩම් සංවිධාන සතු ඉඩම්, රජයේ ඉඩම් පවා තිබෙනවා. අපේ ජනතාව තම ජීවිත කාලය පුරා හරි හම්බකරපු උපයපු වටිනාම වස්තුව මේ," ඇමතිවරයා කියා සිටියේ මෙලෙස අවිධිමත් ගබඩා කිරීම නිසා මෙවැනි ආයතනවල දූෂණ, වංචා සිදුවිය හැකි බවය.

Image copyright MINISTRY OF HOME AFFAIRS
Image copyright MINISTRY OF HOME AFFAIRS

විශේෂයෙන්ම පුස් බැඳුනු හා දුවිලි නිසා දුර්වර්ණවූ ලේඛන රැසක් එහිදී නිරීක්ෂණය වී ඇති අතර එම ලේඛන ආරක්ෂා කරන ආකරය ගැන සැහීමකට පත්විය නොහැකි බව ඇමතිවරයා එහිදී පැවසීය.

කාර්යාලය ඉක්මණින් නවීකරණය කර මෙම වටිනා ඉඩම් ලේඛන සියල්ල නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව සුරක්ෂිත කිරීමට එහිදී තීරණය කෙරිණ.

කොළම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය ඉඩම් ලියාපදිංචියෙන් මාසිකව රුපියල් මිලියන 5කට වැඩි ආදායමක් ඇති ආයතනයක් වන අතර එසේ තිබියදී තවමත් පැරණි ක්‍රමයට මෙලෙස ලේඛන ගබඩාකර තිබීම විශේෂත්වයකි.

කොළඹ නගරයේ ඉඩම්වල ලේඛන, සූචිය සහ මුල් ඔප්පු මෙම ස්ථානයේ ගබඩා කර තිබෙන අතර මේ වසරේ මුල සිට අන්තර්ජාලය හරහා කොළඔ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට අදාල පත් ඉරු පරීක්‍ෂා කිරීමේ පහසුකම ජනතාවට ලබාදී තිබේ.

තවත් කියවන්න: