පාර්ලිමේන්තුව අලුත්වැඩියාව: "වියදම ලක්ෂ දෙදාහක් පමණයි "

Image copyright Getty Images

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ දස දහසක් (කෝටි 100 ) වෙන් කර ඇති බවට පළ වෙමින් පවතින වාර්තා සාවද්‍ය බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

ඒ සඳහා මේ වසර තුළ වෙන් කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙදහසක් (කෝටි 20 ) පමණක් බව එම මාධ්‍ය අංශය අවධාරණය කරයි.

කථානායක මාධ්‍ය අංශය විසින් ඒ බව නිවේදනය කරන ලද්දේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙම වසරේ රුපියල් කෝටි සීයක මුදලක් රජය මගින් වෙන් කර ඇති බවට පසුගිය දිනවල ඇතැම් මාධ්‍යයන්හි පළ වු වාර්තා කෙරෙහි අවධානය යොමු කරමිනි.

"වසර තිහක් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය මෙරට පොදු ජනතාව සතු දේපළක් වන අතර, අනෙක් ඕනෑම ගොඩනැගිල්ලක් මෙන් කලින් කලට අලුත්වැඩියා කරමින් එය නඩත්තු කිරීම අත්‍යාවශ්‍ය" යයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

"රාජ්‍ය තාන්ත්‍රිකයන්"

ගෙවී ගිය දශක තුනක කාලය තුළ සිදු කළ යුතුව තිබූ නමුත්, අතපසු වූ ප්‍රතිසංස්කරණ රැසක් තිබෙන බව පවසන කථානායක මාධ්‍ය අංශය, කවර දේශපාලන ධාරාවක් යටතේ වුවද රටේ ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කෙරෙන කේද්‍රස්ථානය වන පාර්ලිමේන්තුව නිරන්තරයෙන්ම ලොවපුරා රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණෙන ස්ථානයක් ද වන බව සඳහන් කරයි.

එබැවින් "මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කාලානුරූපීව සිදු කිරීමේ අත්‍යවශ්‍යතාවය කිසිලෙසකවත් බැහැර කළ නොහැක," යනුවෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වුවද, රට මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු නොකොට විශාල මුදලක් වැය කරමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට සුදානම් වීම සමාජ ජාල මෙන්ම ඇතැම් දේශපාලනඥයන්ගේ ද විවේචනයට ලක් වෙමින් ඇත.

සබැඳි විෂයයන්