"එජාප නව නිලධාරී මණ්ඩලයට සජිත් ප්‍රේමදාස එකඟද?"

සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය නම් කරන ලද්දේ පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ බවත්, තමාට නියෝජ්‍ය නායක පදවිය පවරා ඇතත් එම පදවිය සඳහා තමා ඡන්දයකින් පත්කර ගනු ලැබුණේ නම් සතුටු වෙන බවත් නිවාස සහ ඉදිකිරීම් භාර ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

"නව නිලධාරී මණ්ඩලය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයාගේ යෝජනාවක් වන අතර එය පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුවේ යෝජනාවක් නොවූ" බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා කියා සිටී.

ප‍්‍රාදේශීය සභා, පළාත් සහා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියළු මහජන නියෝජිතයන්ගේ ඡන්ද විමසීමකින් සිය පදවිය තීන්දු වීනම් යහපත් බව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ අතර ප්‍රකාශයක් කරන සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ තීන්දුවක් ගත යුතුව ඇතැයි කියා සිටියේය.

"පක්ෂයේ ප්‍රතිරූපය වෙනස් කළ හැක්කේ නායකත්වයේ වෙනසකින් මිස ඔළු ගෙඩි හුවමාරුවකින් නොවන" බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේය.

"පිළිකාව හොයා ගන්නේ නැතුව හෙම්බිරිස්සාවටයි - උනටයි බේත් කරලා හරි යන්නේ නැහැ" රාජ්‍ය අමාත්‍යවරයා පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළටට සිය විරෝධය පළ කරමින් කියා සිටියේය.

"එක්සත් ජාතික පක්ෂයේ අපි තීරණයක් ගන්න ඕන, තනි පුද්ගලයෙක් ආරක්ෂා කරනවද? නැතිනම් සුළු පිරිසක් ආරක්ෂා කරනවද? කියල. මොකද මේක තමයි අන්තිම අවස්ථාව"| රාජ්‍ය ඇමතිවරයා පවසයි.

"මේ අවස්ථාවේ බොරු කරලා, ඔළු ගෙඩි මාරු කරලා මේක කරගෙන ගියොත් වෙන්නේ විශාල විනාශයක්. පක්ෂය දැනටමත් විනාශ වෙලා තියෙන්නේ" ඔහු එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන සිය අප්‍රසාදය පළ කරයි.

මේ අතර හිටපු අමාත්‍ය රවි කරුණානායක පක්ෂයේ උපනායක පදවියට යළි පත් කරනු ලැබීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක දැඩි විරෝධය පළ කරයි.

"පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර අවශ්‍ය "වෙනස" සිදු කිරීමට තවදුරටත් සටන් කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා ප්‍රකාශ කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත්ව සිටින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශයක් කරමින්, පක්ෂයේ සියලු පාර්ශ්ව එකතු කර ගනිමින් පක්ෂය පෙරට ගෙන යාමට කටයුතු කරන බව කියා සිටියි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර