ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ අලුත් අවුරුද්ද - ‘කෝණ මංගල්‍යය’

ශ්‍රී ලංකාවේ වැදි පරපුරේ සාම්ප්‍රදායික සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීමේ සිය වාර්ෂික කෝණ මංගල්‍යයේ අරමුණ බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසයි.

ශ්‍රී ලංකාව පුරා එක් එක් කාර්යයන් සඳහා වරින් වර එක් එක් දින වෙන් කෙරුණ ද බොහෝ විට ඒවා වෙනස් කෙරෙන නමුත් ආදිවාසීන්ගේ පාරම්පරික චාරිත්‍ර ඇතුලත් දඹානේ කෝණ මංගල්‍යය එකම දිනකදී සැමරීම විශේෂත්වයක් බව ද ආදි වාසී නායකයා පැවසීය.

ඌරුවරිගේ වන්නියලැත්තන් ඒ අදහස් පළ කළේ පසුගිය බදාදා (අප්‍රේල් 25) මහියංගණය දඹාන ආදිවාසීන්ගේ බක්මහ උළෙල දඹාන කොටබකිනිය ආදිවාසී ජන උරුම කේන්ද්‍රයේදි පැවැති අවස්ථාවේ අදහස් දක්වමිනි.

"අපේ මේ කෝණ මංගල්‍යය මේ රටේ තියෙන අනෙක් උත්සව වලට වඩා වෙනස්. අපි මේ පවත්වන තරඟ හැම දේම වගේ සොබා දහමට, පරිසරයට, ගැළපෙන අයුරින් තමා සැකසිලා තියෙන්නෙ," ඔහු පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
‘කෝණ මංගල්‍යය’

"අපි මේ සියලු තරඟ තියන්නෙ අපේ රැහේ කෙනෙක් කැලේ යද්දි සතා සිවුපාවගෙන් ආරක්ෂාවෙන්නෙ කොහොමද, එවිට බේරෙන්නෙ කොහොමද, රටේ අපේ පරිසරය රැකගෙන ජිවත්වෙන්නෙ කොහොමද, තමන් ජිවත්වෙන්නෙ කොහොමද වගේ දේවල් ගැන. මම කියනව අපේ අනිත් ගම්වල තියෙන අවුරුදු උත්සව වලදිත් අපේ පාරම්පරික දේ ආරක්ෂා කරගෙන ඒව මතු පරපුරට දායාද කරන්න සොබා දහම ආරක්ෂා කරන විදිහට මේ වගේ උත්සව පවත්වන්න කියල."

කෝණ මංගල්‍ය උත්සවය පැවැත්විමට ප්‍රථම ආදිවාසි නායක වන්නියලැත්තන් ප්‍රමුඛ සියලුම ආදිවාසින් විසින් මිට ඉහත ආදිවාසි නායක ඌරු වරිගේ තිසාහාමි නායකතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා පහන් පත්තු කළහ.

ආණ්ඩුව සහ ප්‍රාදේශීය බලධාරීන් විසින් පණවනු ලැබ තිබෙන නීති විධිවිධාන හේතුවෙන් සිය චාරිත්‍ර, වාරිත්‍ර නිසි පරිදි පවත්වාගෙන යාම සිය මුතුන් මිත්තන්ගේ සමයේ පටන්ම ගැටලුවක්ව තිබූ බව සිහිපත් කළ ආදිවාසී නායකයා, "දැන් වසර 19 ක් පුරාවටම මම කතා කළේ අපේ පරිසරය රැකගන්න. අපිට රැකෙන්න මේ වනාන්තර, කඳු, දිය ඇලි ඒව අපිට අවශ්‍යයි. අපේ පරම්පරාවයි, මේ පරිසරය දෙකමක් නෙමේ එකක්. එදා ඉඳල රජයවල් අපිට නීති දාල තියෙනව කැලැවකට යන්නට බෑ, කැළැවක් ඉන්න තහනම් කරල. අපිට අවශ්‍ය දේකට ගහක් කපා ගන්න බෑ. ජීවත් වෙන්න දඩයමක් කරගන් බෑ. ඒව තහනම් කරල. මේ දේ නිසා වෙන්නෙ අපේ පරම්පරාව නැතිවෙලා යන එක," යනුවෙන් ද පැවසීය.

"අපේ සිරිත් විරිත්, ඇදහිලි, මේ දේවල් අපිට එදා අපේ අප්පිල ඉගැන්නුවෙ කැලැවට ගිහින් කැලැවෙ නැවතිලා. මේව ඉස්කොලෙ ගිහින් ඉගෙන ගන්නව වගේ නෙමෙයි අත් දැකිමෙන් තමා අපේ දරුවන් මේව හිතට ලබාගන්නෙ ඉතින් ඒ දේවල් තහවම් කරනව කියන්නෙ අපේ පරම්පරාවම තහනම් කරනව කියල මම හැමදාම කතා කරන්නෙ."

ඊතල දුන්නෙන් විදීම, කාන්තා හා පිරිමි 'දිගම හූව', හොඳම වලස් පොරය, හොම ටික් මැරීම (අතරමං වූවෙකු සොයා ගැනීම සඳහා කරනු ලබන සංඥා ක්‍රමයකි), හොඳම ගෝත්‍රික ගීතය, හොඳම හබක් ඇටවීම (සතෙකු දඩයම කරගැනීමට සාදන උගුලක්), හොඳම බඹර කැපීම (මෙහිදි මී කැඩීමට ගිය අවස්ථාවේ වලසෙකු පැමිණිය හොත් කරනු ලබන සටන රඟ දැක්වේ), හොඳම ගෝත්‍රික රැවුල, වී ඇහිලීම, ලීයෙන් පොල් ගෑම (මෙහිදී පොල් ගෑම සඳහා ගසක ලීයක් කපා එහි දැති කපා එමගින් පොල් ගෑම විශේෂත්වයකි), ආදි පරම්පරාගත තරඟ 30 ට අධික ප්‍රමාණයක් කෝණ මංගල්‍යයට ඇතුළත් විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඌරුවරිගේ වන්නියලැත්තෝ: "අපිට පරිසරයත් එක්ක ජීවත් වෙන්න රජයට අවසරය දෙන්න බැරි කමක් නෑ. අපිට හැඳුනුම් පතක් දීල තියෙනව ඒකෙ තියෙන විදිහට උදේ 6 ට කැලැවට ගිහින් හවස 6 ට කැලැවෙන් එළියට එන්න ඕන. අපි ඉල්ලන්නෙ ඒ වගේ අවසරයක් නෙමේ අපි ඉල්ලන්නෙ කැලෑවට ගිහින් කැලැවෙ ඉඳල, අපේ තියෙනව ඇදිහිලි. කඳුවල ඒව කරන්නෙ. අපේ මළ ගිය ඇත්තො අදහන්න ඕන. ඒ මලගිය ඥාතිවරයෙක්වත් අදහන්න අපිට නිදහසක් නෑ," යනුවෙන් ද කියා සිටියේය.

තරගවලට සහභාගිවන සියලුම තරග කරුවන්ට එහිදී ත්‍යාග පිරිනැමීම ද විශේෂත්වයකි.

තවත් කියවන්න: