මතකයෙන් ඈත්වෙන වෙසක් සුබ පැතුම් පත්

  • 2018 අප්‍රේල් 30

වෙසක් උළෙල ලංවෙත්ම බොදු ජන ජීවිතයේ ප්‍රධාන අංගයක්ව තිබුණ වෙසක් සුබ පැතුම් පත් යැවීම අද සමාජයෙන් ක්‍රමයෙන් ඈත්ව යමින් තිබෙන්නේ ඇයි?

"අපේ පුංචි කාලේ වෙසක් නිසා අපි විඳපු සතුට.... ඒක කියල, ලියල නිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මගේ දරුවන්ටත් ඒ සතුට ටිකක් හරි දෙන්න තමයි අද මේ ආවේ," නිකවැරටිය නගර මධ්‍යයේ පිහිටි වෙසක් සුබ පැතුම් අලෙවි සැලකට පැමිණි මවක වන නිල්මිණි හේරත් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

කුඩා පිරිමි දරුවන් තිදෙනෙකු ද කැටුව පැමිණි ඒ මව වෙසක් සුබ පැතුම් පත් පනහකට ආසන්න ප්‍රමාණයක් තෝරා ගත්තාය.

"මම ආවේ නිකවැව ඉදලා. අද වෙන කොට වෙසක් උත්සවය සාමාන්‍යකරණයට ලක්වෙලා. වෙසක් ගැන දරුවන්ගේ තියන හැඟීම් අඩුවෙලා. මට ඒක ගැඹුරින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ, නමුත් දරුවෝ එන්න එන්නම මේවයින් ඈත්වෙනවා කියල නම් මට තේරෙනවා."

කෙටි පණිවුඩ, පරිගණක භාවිතය, සමාජ මාධ්‍ය ජාල, ඊමේල් සහ ඉමෝජි වැනි නව තාක්ෂණයේ ආගමනයත් සමග වෙසක් සුබ පැතුම්පත් අභාවයට යමින් තිබෙන්නේ ද?

"මේකට ප්‍රධානතම හේතුව නවීන තාක්ෂණය කියල තමයි හිතෙන්නේ. ගොඩක් ළමයි කරන්නේ එක්කෝ පරිගණකයේ කොටනවා .නැත්නම් ජංගම දුරකථනයේ කොටනවා. මේ දෙක තමයි. ෆේස්බුක් (facebook) වයිබර් (viber) ... මේවගේ දේවල් එක්ක තමයි අද සමාජයේ ළමයි වැඩි හරියක් ඉන්නේ."

"මන් දන්නේ නැහැ, අපේ ළමා කාලේ වෙසක් කූඩුවක් හදල, වෙසක් කාඩ් එකක් යවල ලබපු සතුට මේ ළමයින්ට තියනවද කියල."

සැබවින්ම එදා සහ අද වෙසක් සුබ පැතුම් පත් අලෙවියේ විශාල අඩුවක් ඇති බව වෙසක් සුබපැතුම් පත් අලෙවි කරන්නෝ ද පවසති.

ආනන්ද ජයකොඩි නිකවැරටිය නගරයේ වසර තිහකට ආසන්න කාලයක් වෙසක් සුබ පැතුම් පත් අලෙවි කරන්නෙකි.

"අසූ ගණන් වල මම සාමාන්‍යයෙන් වෙසක් කාඩ් පන් දාහක් වික්කා. නමුත් අද විකුණන්නේ කාඩ් පන්සීයක් වගේ ගණනක්" ආනන්ද ජයකොඩි පවසයි.

Image caption "මම ගිය අවුරුද්දේ වෙසක් කාඩ් පනහක් ගත්තා. මේ අවුරුද්දේ ගත්තේ දහයයි. සල්ලි තිබුනා නම් තවත් ගන්නවා"

"මේ තත්වයට ප්‍රධාන හේතුව කියන්න මම දන්නේ නැහැ. නමුත් මට හිතෙනවා - සමාජ මාධ්‍ය වලට අලුත් පරපුර ඇබ්බැහි වීම තුළ මේ තත්වය ඇති වෙලා තියනවා කියල. මේ තත්වය එක පාරටම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. අවුරුදු හතක පමණ ඉඳලා ක්‍රමයෙන් අලෙවිය අඩු වෙලා. දැන් අලෙවියක් නැති තරමටම ඇවිල්ලා."

වැඩිහිටියන් මෙන්ම එකල වෙසක් සුබ පැතුම් පත කුඩා දරුවන් අතරත් ඉතා ජනප්‍රිය අංගයක් විය.

"මේ අය පන්තියේ යාළුවන්ට, ගුරුවරුන්ට වෙසක් කාඩ් යැව්වා. අද යාළුවෙකුට, ගුරුවරයකුට වෙසක් කාඩ් යැව්ව ළමයෙක් ඉන්නවා නම් ඒ ඉන්නේ කලාතුරකින්. අනෙක් ප්‍රධාන කරුණ තමයි වෙළෙන්දෝත් බහුතරයක් මේවා දැක්කේ නැහැ."

ආනන්ද ජයකොඩි සිය සංවාදය නිම කළේ දුක් මුසු ස්වරයකිනි: "සමහර විට ලබන වසරේදී අපටත් මේ කර්මාන්තයෙන් ඉවත් වෙලා යන්න සිද්ද වෙන්න පුළුවන්"

අට වසරේ පාසල් දැරියක ද බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූවාය. ඇය පවසන පරිදි වෙසක් සුබ පැතුම් පත් අලෙවිය අඩුවීමට ප්‍රධානම හේතුව නව තාක්ෂණය නොවේ; ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා මුහුණ දෙමින් සිටින ආර්ථික දුෂ්කරතාය.

"මගේ නම උපමිණි සසිනිමා. නවීන තාක්ෂණයේ බලපෑම එකම හේතුවය කියන්න බැහැ. ආර්ථික ප්‍රශ්නත් මේ තත්වයට බලපෑවා. මම ගිය අවුරුද්දේ වෙසක් කාඩ් පනහක් ගත්තා. මේ අවුරුද්දේ ගත්තේ දහයයි. සල්ලි තිබුනා නම් තවත් ගන්නවා. නමුත් එහෙම ගත්තොත් ගෙදර යන්නත් සල්ලි නැති වෙයි."

Image caption "සමහර විට ලබන වසරේදී අපිටත් මේ කර්මාන්තයෙන් ඉවත් වෙලා යන්න සිද්ද වෙයි"

සිය දරුවන් සමාජ මාධ්‍ය භාවිත නොකරන බව උපමිණි සසිනිමා සමග සිටි ඇගේ මව ද කියා සිටියාය. තමන්ගේ ආර්ථික අපහසුතා ගැන හොඳ අවබෝධයකින් පසුවන සිය දරුවන් වෙසක් සුභ පැතුම් ඉල්ලා "රණ්ඩු නොකළ බව" ඇය පැවසීය.

කෙසේ වුවත් ගම්බද ප්‍රදේශවල පවා විශාල පිරිසක් සමාජ මාධ්‍ය ඇතුලු නවීන තාක්ෂණය භාවිතයට නැඹුරුව සිටිති.

සිය නම සඳහන් නොකරන්නැයි ඉල්ලා සිටි නිකවැරටිය පදිංචි තරුණයෙක් බීබීසී සමග කියා සිටියේ, ෆේස්බුක් යොදා ගනිමින් සුබ පැතුමක් යැවීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බවය. ඒ සඳහා ගතවන කාලය හා මුදල ඉතා අවම වන අතර, වැඩි වාසියක් උදා කර ගත හැකි බව ද ඔහුගේ අදහසය.

"ඉස්සර මිනිස්සු ගියේ ගොන් කරත්තේ. අද යනවද? නැහැනේ. ඒ වගේ තමයි කාලෙන් කාලෙට සියල්ල වෙනස් වෙනවා."

එහෙත් නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කිර්ති කරුණාරත්න ඒ පිළිබඳ දරන්නේ එයට වඩා වෙනස් අදහසකි.

"පහසුව ගැනම හිතල බැහැ. අපි හිතන්න ඕනෑ මෙවැනි දෙයක තිබෙන අගය. අද කුඩා ළමයි දන්නේ නැහැ වෙසක් කාඩ් කියන්නේ මොකද්ද කියලවත්. මම ප්‍රදේශයේ බෞද්ධ සමිතියක සභාපති කෙනෙක් විදිහට මට හිතුනා - මේ අභාවයට යන වෙසක් සුභ පැතුම් පත් නැවත සමාජ ගත කරන්න ඕන කියල."

"මම හිතන්නේ නැහැ ගෙදරකට තැපෑලෙන් එන වෙසක් සුබ පැතුමක තරම් සතුටක්, මුහුණු පොතේ සුබ පැතුමකින් ලැබෙයි කියලා."

වෙසක් සුබ පැතුම් පත අභාවයට යාම ආරම්භ වූයේ ජංගම දුරකථන මගින් කෙටි පණිවිඩ ඔස්සේ සුභ පැතීම ආරම්භ වූ දා සිට බව නිකවැරටියේ ඩබ්ලිව් ජයරත්න පවසයි.

එවක් පටන් මේ දක්වා ඊමේල්, ෆේස්බුක්, ඊමෝ, වයිබර්, වට්ස්ඇප් වැනි මාධ්‍ය ඔස්සේ සුබ පතා ගැනීම තුළ සුබ පැතුමක නියම සතුට ඇද්දැයි දෙවරක් සිතා බැලිය යුතු බව ඩබ්ලිව්. ජයරත්න වැඩිදුරටත් පැවසීය.