කැබිනට් සංශෝධනය: අමාත්‍යාංශ 18ක සංශෝධන

Image copyright PMD

ආණ්ඩුවේ අලුත්ම කැබිනට් සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකුගේ විෂය පථයයන් සංශෝධනය වී ඇති අතර, කැබිනට් අමාත්‍ය සංඛ්‍යාව ද අඩු වී තිබේ.

අඟහරුවාදා (මැයි 01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූ ඇමතිවරුන්ට පැවරෙන රාජ්‍ය ආයතන ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මීට ඉහතදී අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය පදවියෙන් පහ කරන ලද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට මෙවර යළිත් වරක් කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි වී තිබෙන අතර, විදේශ කටයුතු අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස් වූ රවි කරුණානායක මන්ත්‍රීවරයාට අමාත්‍ය පදවියක් හිමි වී නැත.

මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ පැවති සමාජ සවිබලගැන්වීම් සහ කම්කරු අමාත්‍යාංශ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පත් කර තිබීම ද විශේෂත්වයකි.

පදවියෙන් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හය දෙනාට අදාළ ඉතිරි විෂය පථයයන් සරත් අමුණුගම, ෆයිසර් මුස්තාෆා සහ දුමින්ද දිසානායක අමාත්‍යවරුන් වෙත පවරා දී තිබේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
විජේදාස රාජපක්ෂ යළි පත්කිරීම ගැන සරත් ෆොන්සේකා

අඟහරුවාදා දිවුරුම් දුන් ඇමතිවරු පිරිස මෙසේය:

  1. ලක්ෂමන් කිරිඇල්ල - ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන
  2. සරත් අමුණුගම - විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ සහ වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන
  3. දුමින්ද දිසානායක - වාරිමාර්ග, ජල කළමනාකරණ, ආපදා කළමනාකරණ
  4. මහින්ද අමරවීර - කෘෂිකර්ම
  5. එස්. බී. නාවින්න - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන
  6. පී. හැරිසන් - සමාජ සවිබලගැන්වීම්
  7. රංජිත් මද්දුම බණ්ඩාර - නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ
  8. තලතා අතුකෝරාළ - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
  9. ෆයිසර් මුස්තාෆා - ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන
  10. විජයමුණි සොයිසා - ධීවර, ජලජ සම්පත් සහ ග්‍රාමීය සංවර්ධන
  11. කබීර් හෂීම් - අධිවේගී සහ මාර්ග සංවර්ධන
  12. ඩී.ස්වාමිනාදන් - නැවත පදිංචි කිරීම්, හින්දු ආගමික කටයුතු සහ උතුර සංවර්ධන
  13. විජයදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු
  14. දයා ගමගේ - සමාජ සුභසාධන සහ ප්‍රාථමික කටයුතු
  15. සාගල රත්නායක - ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන
  16. මනෝ ගනේෂන් - ජාතික සංහිඳියාව, සංවාද සහ රාජ්‍ය භාෂා
  17. සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන
  18. රවීන්ද්‍ර සමරවීර - කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා

මෙය වත්මන් ආණ්ඩුවේ අවසාන කැබිනට් සංශෝධනය බව වාරිමාර්ග, ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍ය දුමින්ද දිසානායක මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

නව සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් බදාදා (මැයි 02) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ද ඔහු පැවසීය.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරන අමාත්‍ය මනෝ ගනේෂන්, මෙතෙක් ජනාධිපතිවරයා යටතේ පැවති අමාත්‍යාංශයක විෂය පථයන් ද සිය අමාත්‍යාංශය වෙත පවරා දී තිබෙන බව සඳහන් කරයි. ඒ අනුව මෙවක් පටන් සිය අමාත්‍යාංශය "ජාතික සංහිඳියාව, සංවාද සහ රාජ්‍ය භාෂා" යනුවෙන් හැඳින්වෙන බව ද එහි දැක්වේ.

කැබිනට් සංශෝධනය පිළිබඳ පසුගියදා ලන්ඩන් නුවරදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, කැබිනට් අමාත්‍ය පදවිවලට පුද්ගලයන් පත් කිරීමේදී රට තුළ පවතින තත්වය පිළිබඳ පමණක් නොව එම පදවිවලට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීමත් සැලකිල්ලට ගත යුතු බවය.

නව කැබිනට් මණ්ඩලය "පැහැදිලිවම විද්‍යාත්මක පදනමක් අනුව විෂයයන් බෙදපු අමාත්‍යංශ" සහිත කැබිනට් මණ්ඩලයක් වන බව ද ඔහු අවධාරණය කළේය.

තවත් කියවන්න: