කොළඹ මහපාරේ මැයි රැළියක්!

Image caption කොළඹ කොටුව දුම්රිය පොළේ සිට පාගමනින් පැමිණි ඔවුහු හිල්ටන් හෝටලය අසල මහපාරේ දී සිය මැයි දින සමරුව ආරම්භ කළහ.

මැයි පළමු වෙනිදාට යෙදී තිබෙන ලෝක කම්කරු දින සැමරුම මැයි හත් වෙනිදාට වෙනස් කරනු ලැබීම පිළිබඳව විරෝධය පළ කෙරෙන මැයි රැළියක් කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැත්වුණි.

එම මැයි දින සමරුව සංවිධානය කර තිබුණේ කම්කරු වෘත්තීය සමිති එකමුතුව විසිනි.

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව මැයි රැලි වෙසක් සමයේ නොව, මැයි 07 දිනට කල් තැබීමට තීරණය කළ රජය, මැයි 01 වැනිදා නිවාඩුව අවලංගු කරමින් ඒ වෙනුවට මැයි 07 වැනිදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ එම තීරණයට එකඟතාව පළ කළත් කම්කරු සහ වෘත්තීය සමිති ඊට දැඩි විරෝධය පළ කරති.

"ලාංකීය කම්කරු පන්තියේ සැබෑ අභිලාෂයන් වෙනුවෙන් පක්‍ෂ දේශපාලනයෙන් තොරව ස්වාධීන වෘත්තීය සමිති මගින් නායකත්වය දෙන මැයි දිනයක් සඳහා පෙළ ගැසෙන විට රජය ඉතාමත් කුමන්ත්‍රණකාරී අයුරින් ආගමික නායකයින්ගේ උපදෙස් අනුව යයි පවසමින් මැයි දිනය කල් දැමීමට කටයුතු කළ" බවට වෘත්තීය සමිති චෝදනා කරති.

"සමස්ත ලෝකයේ කම්කරු සගයන් කම්කරු දිනය අද දවසේ සමරද්දී, අපි විතරක් වෙන දවසක සමරන්නේ කොහොමද? මේක මොන විහිළුවක් ද?" වෘත්තීය සමිති නායක ඇන්ටන් මාර්කස්, වෘත්තීය සමිති ව්‍යාපාරයේ මැයි සැමරුම පැවැත්වෙද්දී බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
කම්කරු දිනය වෙනස් කිරීම: "සදාචාරාත්මක අයිතියක් නෑ"

කම්කරුවන්ගේ ජාත්‍යන්තර දිනයක් වෙනස් කිරීමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් රජයට නොමැති බව ඔහු පෙන්වා දෙයි.

වෘත්තීය සමිති නියෝජිතයන් දහසකට ආසන්න පිරිසක් පෞද්ගලික නිවාඩු දමමින් මෙම මැයි දින සැමරුමට පැමිණ සිටි අතර, කොළඹ කොටුව දුම්රිය පොළේ සිට පාගමනින් පැමිණි ඔවුහු හිල්ටන් හෝටලය අසල මහපාරේ දී සිය මැයි දින සමරුව ආරම්භ කළහ.

ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් රජයට චෝදනා කරමින් අදහස් පළ කළේ, මැයි පළමු වෙනිදා කොළඹ රැලි පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණ ලබා නොදුන් බව පවසමිනි.

යෝජනා දාහතරකින් (14) සමන්විත ඉල්ලීම් මාලාවක් ලිපියක් මගින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ද වෘත්තීය සමිති නායකයෝ පියවර ගත්හ.

Image caption වෘත්තීය සමිති නායක ඇන්ටන් මාර්කස්

ජීවත් වීම සඳහා අවම වැටුපක්, එනම් රාජ්‍ය සංඛ්‍යාලේඛනවලට අනුව රු. 52,000 ක වැටුපක් ස්ථාපිත කිරීම, වැඩ වර්ජනය කිරීමේ අයිතිය තහවුරු කිරීම, මාතෘ නිවාඩු 84 සෑම සේවිකාවකටම සමාන මට්ටමින් ලබා දීම හා පීතෘ නිවාඩු ලබා දීම, රාජ්‍ය සේවකයින්ගේ අහිමි කළ දායක නොවන විශ්‍රාම වැටුප කප්පාදුව ඉවත් කර එය යළි ලබා දීම, පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සියලු ශ්‍රේණීන්ට පොදු විශ්‍රාමයක් ඇති කිරීම ඇතුළු ඉල්ලීම් රාශියක් ඊට ඇතුළත් වෙයි.

දේශපාලකයන් මැයි දිනය යොදා ගත්තේ තම බලය පෙන්වීමට මිස සැබෑ කම්කරුවන් වෙනුවෙන් නොවන බවත්, මෙම මැයි 07 වෙනිදා දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන්නේ මැයි රැළි නොව දේශපාලන රැළි බවත් වෘත්තීය සමිති නායක ඇන්ටන් මාර්කස් පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ද ලෝක කම්කරු දින සැමරුම් උත්සවයක් අද කොළඹදී සංවිධානය කර තිබුණි.

"ලෝක කම්කරු දිනය මැයි පළමුවෙනි දා මිස වෙනත් දිනයක සැමරිය නොහැකි" බව එම සංගමයේ ප්‍රධාන ලේකම්, නීතිඥ ලෙස්ලි ද්වේන්ද්‍ර මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

තමා දරන 'ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්' ධුරයෙන් ද ඉල්ලා අස් වන බව නීතිඥ ලෙස්ලි ද්වේන්ද්‍ර කියා සිටියේය.

මැයි දිනය වෙනස් කිරීම ගැන ආණ්ඩුවට එල්ල වෙන චෝදනා ගැන මාධ්‍යයට අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන "ලෝකයේ රටවල් තමන්ගේ රටට ගැළපෙන පරිදි එවැනි වෙනස්කම් සිදු කරන" බව සඳහන් කළේය.

"බලන්න කොයි තරම් බොළඳද කියලා. ඇමෙරිකාවේ ජාත්‍යන්තර කම්කරු දිනය පවත්වන්නේ සැප්තැම්බර් මාසයේ. කැනඩාවේ පවත්වන්නේ සැප්තැම්බර් මස 09 වෙනිදා. තම තමන්ගේ රටට ගැළපෙන ලෙස එම වෙනස්කම් කළ යුතුව තිබෙනවා," අමාත්‍යවරයා පවසයි.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර