දූෂණ චෝදනා: "මගෙන් නම් ආරක්ෂාවක් නැහැ. වෙන අය ගැන දන්නේ නැහැ"

දූෂණ චෝදනා: "මගෙන් නම් ආරක්ෂාවක් නැහැ"

පසුගිය ආණ්ඩුව සමයේ දූෂණ චෝදනා පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට එල්ලවන විවේචන තමන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

බැඳුම්කර ගනුදෙනුව මෙන්ම මහ පරිමාණ දූෂණ හා වංචා පිළිබඳව පත් කරන ලද කොමිෂන් සභා නිකුත් කළ වාර්තා දෙක සම්බන්ධයෙන් ද අදාළ ආයතන අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ බීබීසී සිංහල සේවය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ලන්ඩනයට පැමිණ සිටි අවස්ථාවේදී ජනාධිපතිවරයා බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවට එක්විණි.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබඳ කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ කොමිෂන් සභා වාර්තා සම්බන්ධ ක්‍රියාමාර්ගවල නැවතීමක් හෝ පසුගාමී තත්ත්වයක් නැති බවය.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේදී ජනමාධ්‍ය වෙත ද වගකීමක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, "හැමවෙලේම ඔය දේශපාලන ගැටුම් සහ කුණුගොඩවල් පෙන්නන්නේ නැතුව රටේ මහජනයා දැනුවත් විය යුතු දේවල් පිළිබඳ දැනුවත් කරන්න" යැයි කියා සිටියේය.

පරීක්ෂණවල වේගය

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡාව

කෙසේවෙතත්, අදාළ පරීක්ෂණයන්හි වේගවත් බව සම්බන්ධයෙන් විවේචන එල්ල වනවා නොවේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ජනාධිපතිවරයා "රටේ නීතිය" සමග එම කටයුතු ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුණි.

"රටේ නීතියත් එක්ක යන්න ඕන. මේක කැලෑ නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් නෙවෙයි" යැයි ඔහු කියා සිටියේය.

දූෂණ චෝදනාවලට ලක්වූ පසුගිය ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ට රැකවරණ ලැබෙන්නේදැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, "මගෙන් ආරක්ෂාවක් නැහැ- කාටවත්. මම දන්නේ නැහැ වෙන අය කොහොමද කියලා" යැයි සඳහන් කළේය.

ජනාධිපතිවරණය

ඉදිරි ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වන්නේදැයි කළ විමසීමට ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ, "මම හිතන්නේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ගැන දැනට කතා කිරීම අවශ්‍ය නැහැ" යනුවෙනි.

වසර එකහමාරක් හෝ දෙකක් ඉදිරියට ඇති දෙයක් ගැන අද කතා කිරීමෙන් රට තුළ "දේශපාලන අස්ථාවරත්වයක්" ගොඩනැගෙන බව ජනාධිපතිවරයාගේ අදහසය.

මැතිවරණ මානසිකත්වයක් සැමදෙනා තුළ ගොඩනැගීම නිසා රටේ සංවර්ධනයට, පැවැත්මට හා ස්ථාවරත්වයට "බරපතළ හානියක්" වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා සමග බීබීසී සිංහල සේවය කළ සම්මුඛ සාකච්ඡාව

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර