විජේදාස රාජපක්ෂ - එදා සහ අද

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිය අදහස් දක්වමින්

වත්මන් යහපාලන රජය සඳහා ඉතිරිව ඇති ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ මහජනයාට සේවය කිරීමේ අරමුණින් තමා මෙවර ඇමති පදවියක් භාරගත් බව උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු භාර නව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් කරන ලද ආරාධනයක් අනුව නව ඇමති පදවිය භාරගත් බව කියා සිටියේය.

"ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මා කෙරෙහි විශ්වාසය තබා මට ආරාධනා කළා. මම ඒක භාර ගත්තා."

අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ අවස්ථාවේ ඔහු ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අතර "ජාතික සම්පත් විකුණන කැබිනට් මණ්ඩලයක් තුළ සිටීම ලැජ්ජාවක්" බව ද ප්‍රකාශ කළේය.

Image copyright PMD

පවතින ජාතික ආණ්ඩුව "අච්චාරුවක්" ලෙස හඳුන්වා දෙමින් මෙම ආණ්ඩුවේ ඇමති පදවි භාර නොගන්නා බවක් ඔහු පසුගිය සතියේත් කියා ඇතත්, මෙම හදිසි වෙනසට හේතුව කුමක්දැයි බීබීසී කොළඹ වාර්තාකරු ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කියා සිටියේ "කිසිම හදිසියක් නොමැති" බවය.

"කිසිම හදිසියක් නැහැ. ආණ්ඩුවේ සන්දර්භය හුඟක් වෙනස් වෙලා. ඇමති මණ්ඩලයේ සන්දර්භයේ ඇති වූ වෙනස තුළ රාජ්‍ය නායකයන් දෙදෙනාගේ ඉල්ලීම භාර ගත්තා" නව ඇමතිවරයා සඳහන් කළේය.

"දේශපාලනඥයන් විධියට මහජනයාට සේවය කළ හැකි ඕනෑම මොහොතක එය ඉටු කළ යුතු නිසා මම ඒ ඉල්ලීමට එකඟව ඇමති පදවිය භාර ගත්තා."

කලින් දරන ලද අධිකරණ ඇමති පදවියෙන් ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව 'මෙවැනි ආණ්ඩුවක පදවියක් දැරීම ලැජ්ජාවට කරුණක්' බවට කරන ලද ප්‍රකාශය පිළිබඳව බීබීසී වාර්තාකරු සිහිපත් කළ විට ඊට පිළිතුරු දුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා, දේශපාලනඥයන් එවැනි ප්‍රකාශ කරන බවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ ඇමති පදවියක් දරමින් ඊට සමාන ප්‍රකාශයක් සිදුකර ඇති බවත් සිහිපත් කළේය.

Image copyright PMD

"එහෙම ඒවා වෙනවා. ඔබට මතක ඇති 2007 මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස රාජපක්ෂ ආණ්ඩුවට කිව්වා මට තියෙන ලොකුම ලැජ්ජාව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඇමතිකෙනෙක් වීම කියලා. එතුමා ලේකම් කෙනෙක් ලෙස කිව්වා."

"දේශපාලන වතාවරණ තුළ අපි විවේචන කරනවා. ඒකටයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ," ඔහු කියා සිටියේය.

කලින් ඇමති පදවියෙන් ඉවත් කිරීම

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීම මගින් කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ 2017 අගෝස්තු මාසයේ දී විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඔහු කලින් දැරූ අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු භාර ඇමති පදවියෙන් ඉවත් කරනු ලැබුණි.

හම්බන්තොට වරාය අනූනව අවුරුද්දක් සඳහා චීනයට බදු දීමට ආණ්ඩුව ගත් තීන්දුව ඔහු පාර්ලිමේන්තුව තුළදී මෙන්ම මාධ්‍ය සාකච්ඡා මගින්ද දැඩි විවේචනයට ලක් කර තිබුණි.

ඒ අතරම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට එරෙහි නඩු ප්‍රමාද කරන බවටත් ඔහුට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් චෝදනා එල්ල විය.

විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කලින් දැරූ අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු භාර ඇමති පදවියෙන් ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව 2017 අගෝස්තු 23 දින ඔහු මාධ්‍ය වෙත කළ ප්‍රකාශය පහත දැක්වෙන වීඩියෝවේ නරඹන්න.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"ජාතික සම්පත් විකුණන කැබිනට් මණ්ඩලයක් තුළ සිටීම ලැජ්ජාවක්"

පසුගිය වසරේ අගෝස්තු මාසයේ ධුරයෙන් ඉවත්කළ විජේදාස රාජපක්ෂ ඉන් පසුව ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළත්, අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවේ දී ඔහු අගමැතිවරයාට සහය පළ කරමින් කියා සිටියේ එම විශ්වාස භංගය ඉදිරිපත් කරනු ලැබුවේ රට අස්ථාවර කිරීම සඳහා බවය.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් රැසක් ද එක්ව සිටියහ.

විශ්ව විද්‍යාල කේෂ්ත්‍රයේ ගැට‍ළු විසඳීමටත්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ප්‍රමිතිගත කිරීමටත් කටයුතු කරන බව නව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සඳහන් කළේය.

නව උසස් අධ්‍යාපන ඇමතිවරයා වැඩ භාරගන්නා අවස්ථාවේ සිසු උද්ඝෝෂණ ඇතිවිය හැකි බැවින් අමාත්‍යංශ පරිශ්‍රය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි.

තවත් තොරතුරු: