මොකක්ද මේ 'රුවන් විජේවර්ධන කමිටු වාර්තාව' ?

Image copyright UNP
Image caption පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කරන බව පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු කීපයක් පමණක් සංශෝධනය කරමින් සිදු කෙරුණු ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධයෙන් පක්ෂය තුළින්ම විවේචන එල්ල වෙමින් පවතී.

එම පක්ෂයේ දෙවෙනි පෙළ නායකයන් සහ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වන්නේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා පත් කරන ලද 'රුවන් විජයවර්ධන කමිටුවේ වාර්තාව' සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසය.

එක්සත් ජාතික පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ ද පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කරන බව කියා සිටියේය.

"අපේ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය මෙතැනින් අවසන් වන්නේ නැහැ. රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමට අපි ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් ගෙන තිබෙනවා. ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට ද අපි පියවර ගන්නවා" අගමැතිවරයාගේ නිවේදනයේ සඳහන් විය.

රුවන් විජයවර්ධන කමිටු යෝජනා

රුවන් විජයවර්ධන ප්‍රමුඛ කමිටුව පත් කරන ලද්දේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලැබූ පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පවරමිනි.

Image copyright Getty Images
Image caption එජාප නායක -අගමැති රනිල් වික්‍රමසිංහ

එම කමිටුවේ සභාපතිවරයා ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධන වූ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහත් දෙනෙක් එහි සෙසු සාමාජිකයෝ වූහ.

කමිටු රැස්වීම් තුනක් පැවැත්වීමෙන් අනතුරුව යෝජනා නවයක් ඇතුළත් වාර්තාවක් අගමැතිවරයාට භාර දුන් අතර "පක්ෂ නායකත්වය පත් කළ යුත්තේ සාමාජිකයන්ගේ ඡන්දයෙන්" යන්න එහි එක් නිර්දේශයක් වේ.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් කිරීම කමිටු වාර්තාවේ ප්‍රධානතම යෝජනාව වී ඇත.

දැනට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු තනතුරක් ඡන්දයකින් පත් නොකෙරෙන අතර සියලු පත්වීම් සිදු කරන්නේ පක්ෂ නායකයා විසිනි.

ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට පසුව සිය නායකත්වය ඡන්දයකින් තීන්දු කිරීමට පක්ෂ ව්‍යවස්ථාව තුළ ඉඩකඩ තිබිය යුතු අතර, එම ඡන්ද විමසීමේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන්ට ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දිය යුතු බව රුවන් විජේවර්ධන කමිටුව යෝජනා කරයි.

අනුප්‍රාප්තික නායකයා

පක්ෂය තුළ ප්‍රබල ප්‍රතිසංවිධානයක් කළ යුතු බවට පවතින මහජන මතයට ගරු කරමින් පක්ෂයේ ඉදිරි නායකත්වය පත් කිරීම සිදු කළ යුතු බව කමිටු වාර්තාවේ දෙවැනි යෝජනාවේ සඳහන් වේ.

එම යෝජනාවක් ඉදිරිපත් කිරීමේ අදහස අගමැති රනිල් වික්‍රමසිංහට පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන අනුප්‍රාප්තිකයා නම් කළ යුතු බව දැනුම් දීම වූ බව එම කමිටුවේ සාමාජික මන්ත්‍රීවරයෙක් බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය.

Image caption කමිටු සභාපති ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධන

නියෝජ්‍ය නායකයාට රට පුරා යමින් පක්ෂ සංවිධාන ගොඩනැඟීමට පක්ෂයේ ව්‍යවස්ථාවෙන් බලතල පවරාදීම, වඩා ජන ආකර්ෂණය සහිත උප නායකවරුන් කීපදෙනෙක් පත්කිරීම, සාමාජිකයන්ට සෘජුව සම්බන්ධ විය හැකි පරිදි ඉදිරි මැතිවරණයකදී ජාතික ලැයිස්තුවෙන් පත්වීමේ පදනම මත දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු පක්ෂයේ මහලේකම් පදවියට පත් කිරීම වැනි කරුණු කීපයක් එකී දෙවෙනි යෝජනාවට අදාළ අනු යෝජනා ලෙස දක්වා ඇත.

ප්‍රධාන විධායක නිලධාරියෙක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු වලට අමතරව පක්ෂ ව්‍යූහය ප්‍රතිසංවිධානය කොට නව තනතුරු ඇතිකරමින් එම තනතුරු සඳහා ක්‍රියාශීලී නව නායකයන් පත්කරන ලෙසත් රුවන් විජේවර්ධන කමිටුව යෝජනා කරයි.

පක්ෂයේ මතය සන්නිවේදනය කිරීම,පක්ෂ සාමාජිකත්වය ප්‍රවර්ධනය,ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු වැනි කාර්යයන් සඳහා නව තනතුරු ඇති කළ යුතු යයි යෝජනා කරන රුවන් විජේවර්ධන කමිටුව, ඊට අමතරව සමාජ මාධ්‍ය ජාල මෙහෙයවිය හැකි අවම වශයෙන් පුද්ගලයන් පනස් දෙනකුට ආසන්න කණ්ඩායමක් සහිත දක්ෂ ක්‍රියාශීලී නායකත්වයක් පත්කර ගත යුතුව ඇති බවත් පෙන්වා දෙයි.

ඊට අදාළ තවත් නිර්දේශයක් වන්නේ "පුර්ණකාලීනව පක්ෂ මූලස්ථානය තුළ රැඳී සිටිමින්, බිම් මට්ටමේ පක්ෂ නියෝජිතයින් දක්වා සම්බන්ධීකරණය විය හැකි ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් (CEO)නිර්මාණය කිරීමය".

එම ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන අයකු පත් කළ යුතු බවත් එම පුද්ගලයාට සෘජුවම පක්ෂ නායක ඇතුළු පක්ෂ සංවිධානයේ ප්‍රධාන තනතුරු හොබවන නිලධාරීන් හා සම්බන්ධ වී පක්ෂයේ අනිකුත් නියෝජිතයන්ට මතුවන ගැටලු වලදී කඩිනම් විසඳුම් ලබාදිය හැකි පරිදි බලතල ලබාදිය යුතු බවත් එහි සඳහන් වේ.

Image caption සිරිකොත -එජාප මූලස්ථානය

සිංහල බෞද්ධ පදනම ශක්තිමත් කිරීම

සිංහල බෞද්ධ පදනමක් සහිත ශක්තිමත් නායකත්වයක් පක්ෂය තුළ ඇතිකළ යුතු බවත් රුවන් විජේවර්ධන කමිටුව නිර්දේශ කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂය ලද සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණාත්මක නොවූ හෙයින් ඉදිරි මැතිවරණ සඳහා සිංහල බෞද්ධ පදනම ශක්තිමත් කර ගැනීම එම යෝජනාවේ හරය බව කමිටු සාමාජිකයෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

එම ප්‍රධාන යෝජනාවලට අමතරව සිරිකොත කාර්ය මණ්ඩලය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීම, පක්ෂ අරමුදල ශක්තිමත් කිරීමට කටයුතු කිරීම වැනි නිර්දේශ ද සෙසු යෝජනා අතර දක්නට ලැබේ.

"පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ, වත්මන් දේශපාලන පරිසරය තුළ ඇති වී ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින්, එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම හා වර්ධනය කර ගැනීමට ඉහත සඳහන් යෝජනා ඇතුළු අවශ්‍ය වෙනස්කම් කඩිනමින් සිදුකළ යුතු බව යෝජනා කර සිටිමු" යයි රුවන් විජේවර්ධන කමිටුව සිය වාර්තාව මගින් ඉල්ලීමක් ද කරයි.

එක්සත් ජාතික පක්ෂය තුළ පසුගියදා සිදු කරන ලද වෙනස්කම් වලදී එම වාර්තාවේ ඇතැම් යෝජනා ඉටුකර ඇතත්, බහුතරයක් යෝජනා ක්‍රියාත්මක කර නොමැති බව පසුපෙළ මන්ත්‍රීවරු කියා සිටිති.

එහෙත් එවැනි පූර්ණ වෙනසක් සිදු කරනු ලැබීමට නම්, පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවත් එය කල්ගතවන ක්‍රියාවක් බවත් වත්මන් පක්ෂ නායකත්ව පාර්ශ්වය පෙන්වා දෙයි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර