අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සීයේ වේගෙන් කොළඹ යන "මොරිස් මයිනර්"

මොරිස් මයිනර්

ලෝකයේ සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද පැරණි වාහනවලට ඇත්තේ විශාල ඉල්ලුමකි. ධාවනයෙන් ඉවත්කර තිබෙන පැරණි වාහන නැවත අලුත්වැඩියා කර භාවිතයට ගැනීම ඉතා ජනප්‍රිය වෙමින් පවතී.

අලුත්වැඩියා කර නැවත භාවිතා කරන වාහන අතර 1949 බ්‍රිතාන්‍යයේ දී නිෂ්පාදනය කළ 'මොරිස් මයිනර්' රථයට ප්‍රමුඛ ස්ථානයක් ලැබේ.

නවීන පන්නයේ ජපන් වාහන වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමත් සමග, මොරිස් මයිනර් රථවලට තිබූ ඉල්ලුම අඩු විය. 1971 දී මොරිස් මයිනර් බ්‍රිතාන්‍ය සමාගම වසා දමන ලද අතර, දැනටත් එම වාහන හැට දහසක් පමණ ධාවනයේ යෙදෙමින් ඇති බවත් පැවසෙයි

සමාගම වසා දැමීමත් සමග ධාවනය වෙමින් තිබූ මොරිස් මයිනර් වාහනවලට අවශ්‍ය අමතර කොටස් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බවට පත් විය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මොරිස් මයිනර්:"අපි අධිවේගී මාර්ගයේ 100ක වේගයෙන් කොළඹ ගියා"

මොරිස් මයිනර් වාහන උපාංග යුරෝපා රටක නිෂ්පාදනය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදු වන නිසා එම නිෂ්පාදනාගාරය 1995 දී ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද්දේය.

මේ කාලය වන විට ශ්‍රී ලංකාව තුළ ද 'මොරිස් මයිනර්' රථය ඉතා ජනප්‍රිය තත්වයේ පැවතීම මෙම නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව විය.

මෙම නිෂ්පාදනාගාරය පිහිටුවා ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ වන අතර, අදටත් ලොව රටවල් ගණනාවක ධාවනය වෙමින් පවතින මොරිස් මයිනර් සදහා අවශ්‍ය අමතර කොටස් වර්ග 650 කට වැඩි සංඛ්‍යාවක් එහි නිෂ්පාදනය කරනු ලැබේ.

"මේ ආයතනය 1995 දී පටන් ගන්නකොට තමයි මම මෙතනට සම්බන්ධ වුණේ. එතකොට අපිට කිව්වේ මේ වාහන වැඩිම වුනොත් තව අවුරුදු දහයක් ලෝකේ පවතීවී කියලා. නමුත් අවුරුදු 23 ක් තිස්සේ තවමත් මේ වාහන පවතිනවා. නමුත් අපි අමතර කොටස් නිෂ්පාදනය කරන නිසා තවත් අවුරුදු පනහක් වත් මේ වාහන තියේවි කියල මම හිතනවා" යැයි ගාල්ල මොරිස් මයිනර් අමතර කොටස් නිපදවන 'ක්ලැසික් කාර්' පෞද්ගලික සමාගමේ කළමනාකරු ඩී.ඒ. රවීන්ද්‍ර බීබීසි සිංහල සේවයට පැවසුවේය.

ගාල්ල, පින්නදූව ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම නිෂ්පාදනාගාරයේ සේවකයන් පහළොස් දෙනෙකුගෙන් සමන්විතය. අමතර කොටස් නිෂ්පාදනයට අමතරව මොරිස් මයිනර් වාහන නැවත ධාවනයේ යෙදවීමට සුදුසු පරිදි නවීකරණය කිරීමද එහි සිදු කෙරෙයි.

"අපි වැඩියෙන්ම නිෂ්පාදනය කරන්නේ වාහනයේ බඳ කොටස්. ඒ වගේම, මොරිස් මයිනර් වාහන වල 'චැසි ලෙග්' වල ඉඳලා 'රබර් බුෂ්' ඇතුළු එන්ජිමේ සමහර කොටස් අපි නිෂ්පාදනය කරනවා" රවීන්ද්‍ර පැවසීය.

අනෙකුත් වාහන උපාංග නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවල භාවිතා කරන නවීන තාක්ෂණය ගාල්ලේ පිහිටි මෙම මොරිස් මයිනර් නිෂ්පාදනාගාරයේ දක්නට නැත.

මේ තොරතුරුද කියවන්න:

අමතර කොටස් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ කීපයක් මෙම ආයතනය සතුව ඇතත් ඒවා ඉතා පැරණිය. කළමනාකරු රවින්ද්‍රට අනුව ආයතනයේ 'ශක්තිය' වී ඇත්තේ අත්දැකීම් බහුල පළපුරුදු සේවක පිරිසය.

"අපට ලොකු පිරිසක් නැහැ. නමුත් දැනට වැඩ කරන ගොඩක් අය මොරිස් මයිනර් වාහනය ගැන හුඟක් දන්න දක්ෂයන් පිරිසක්. අපිට නවීන තාක්ෂණය අත්‍යවශ්‍ය නැහැ මේවා හදන්න" ඔහු පැවසුවේය.

ඩෙන්මාර්ක් ජාතිකයෙකු විසින් 1995 දී ආරම්භ කළ මෙම සමාගම සිය නිෂ්පාදනවලින් 80% කට වැඩි ප්‍රමාණයක් ඩෙන්මාර්කයට අපනයනය කරන අතර, ඔවුන් එම උපාංග එංගලන්තය ඇතුළු අනිකුත් රටවලට බෙදා හරිනු ලබයි.

"මේ සමාගම ආරම්භ කළ නීල්සන් මහත්තයා ශ්‍රී ලංකාවට ආපු අවස්ථාවක, අපේ රටේ මොරිස් මයිනර් වාහන වලට තිබෙන උනන්දුව දැකල තමයි නිෂ්පාදනාගාරය මෙහි ආරම්භ කළේ. අනික මෙවැනි උපාංග යුරෝපා රටවල නිෂ්පාදනය කරන්න ලොකු වියදමක් යනවා. අපේ රටේ නිෂ්පාදන වියදම ඉතා අඩුයි" 'ක්ලැසික් කාර්'සමාගමේ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කරන ලයනල් ද සිල්වා පැවසීය.

ලයනල් ද සිල්වා මොරිස් මයිනර් රථවලට දැඩි ලෙස ඇලුම් කරන අතර, ඔහු එම රථයක හිමිකරුවෙක් වී සිටි බවත් පැවසුවේය.

"අපේ ආයතනය සතු මොරිස් මයිනර් රථයෙන් තමයි අපි බැංකුවට යන්නේ. ගාල්ල ටවුමට ගියාම විදේශිකයන් වාහනය වට කරගෙන ගොඩක් පින්තූර ගන්නවා. ඔවුන් මේ වාහනවලට හරිම කැමතියි," ඉතා හොඳ ධාවන තත්වයේ තිබෙන කාර්යාල කටයුතු සඳහා භාවිතා කරන මොරිස් මයිනර් රථය පෙන්වමින් ලයනල් අප සමග පැවසුවේය.

"අපි මේ වාහනේ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සියයක වේගයෙන් කොළඹ ගිහින් ඇවිත් තිබෙනවා" අප කතාබහට එක් වූ රවීන්ද්‍ර පවසා සිටියේය.

තවත් තොරතුරු:

අතීතයේ දී මොරිස් මයිනර් මාදිලියේ රථයකින් ගාල්ල සිට යාපනය දක්වා ගමන් කිරීමට හැකියාව තිබිණි. නමුත් වර්තමානයේදී මෙම රථය දීර්ඝ ගමන් සඳහා භාවිතා කරන්නේ නම් ඉතා හොඳින් නඩත්තු කර තිබිය යුතු බව ඔහු තවදුරටත් පැවසුවේය.

"ඇත්තටම මේ ගොඩක් වාහන දැන් භාවිතා කරන්නේ 'ඇන්ටික්' විදියට. ගෙදර අමතර වාහනය විදියට තිබෙනවා, නැත්නම් හෝටල්වල ප්‍රදර්ශනයට තබනවා. ගොඩක් වාහන කෙටි ගමන්වල විතරයි යෙදෙන්නේ ඒ නිසා වාහන කැඩෙනවා අඩුයි"

ශ්‍රී ලංකාව තුළ මොරිස් මයිනර් වාහන දෙදාස් පන්සියයක් ධාවනයේ යෙදෙන බවට ඇස්තමේන්තු කර තිබෙන අතර ඒවාට අවශ්‍ය උපාංග ලබා දීම තම ආයතනය මඟින් සිදුකරන බව රවීන්ද්‍ර පවසන්නේය.

"දැන් ලෝකය වටා හෝටල්වලින් මොරිස් මයිනර් වාහනවලට ඉල්ලුමක් තිබෙනවා - ප්‍රදර්ශන භාණ්ඩයක් විදියට තියා ගන්න. මොකද යුරෝපා සංචාරකයන් මේවට හරිම ආසයි. අපි පරණ කාර් අලුත් වැඩියා කරලා ඔවුන්ට ලබා දෙනවා"

මෙලෙස අලුත්වැඩියා කර ලබා දෙන වාහනවල විශේෂත්වය වන්නේ ඒවා පෙර තිබුණු ආකාරයට සැකසීමයි.

පැරණි වාහනවලට නව උපාංග සවිකර නවීකරණ කිරීමට ඇතැමෙක් කටයුතු කරති. නමුත් මෙම සමාගමෙන් සිදු කරනු ලබන්නේ වාහනය පෙර තිබුණු ආකාරයට අළුත් වැඩිය කිරීමය.

"දැන් මේ වාහනේ 1960 වර්ෂයේ නිෂ්පාදනය කරපු එකක්. අපි මේක හදන කොට ආසනේ පටන් සෑම කොටසක්ම මුල් තත්වයේ, ඒ වර්ෂයට අදාළ වාහන තිබුණු විදිහටමයි හැදුවේ. ගොඩක් අය වාහන නවීකරණය කරන්න ගිහින් ඒවායේ වටිනාකම නැති කරගන්නවා" මොරිස් මයිනර් රථයක් පෙන්වමින් රවීන්ද්‍ර පැවසීය.

"අපි පොඩි වෙනස් කිරීම් කරනවා. උදාහරණයකට මේ පැති වීදුරු දෙක දික් කරලා පැති වීදුරු තුනක් දැම්මා" ඔහු තවත් මොරිස් මයිනර් වාහනයක් පෙන්වමින් පැවසුවේය.

ගාල්ල පින්නදූවේ ඇති මෙම මොරිස් මයිනර් නිෂ්පාදනාගාරයට අමතරව ගාල්ල බටදූව ප්‍රදේශයේද තවත් මොරිස් මයිනර් අමතර කොටස් නිෂ්පාදනාගාරයක් ඇත.