විස්සයි විස්සේ විශ්‍රාම යන්නේ නැහැ - මෛත්‍රිපාල සිරිසේන

වත්මන් ජනපති පදවියේ දිව්රුම් දෙමින් Image copyright AFP
Image caption වත්මන් ජනපති පදවියේ දිව්රුම් දෙමින්

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත 2020 වසරේ දී තමන් විශ්‍රාම නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ මඩකලපුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය අමතමිනි.

තමන් 2020 වසරේ දී විශ්‍රාම යන බවට සමාජ ජාල තුළ විශාල වශයෙන් වාර්තා පළ වන බව සඳහන් කළ ජනාධිපතිවරයා, "සමහර අය මගෙන් අහනවා මම විස්සයි විස්සේ විශ්‍රාම යනවද කියලා. මම විස්සයි විස්සේ විශ්‍රාම යන්නේ නැහැ, කරන්න වැඩ හුඟක් තිබෙනවා," යනුවෙන් සඳහන් කළේය.

පසුගිය කාලය තුළ ලද අත්දැකීම් සමගින් ජනතාව වෙත නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

"අපට අවශ්‍ය අලුත් වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලට දේශපාලන හොරු අවශ්‍ය නැහැ. දේශපාලන තක්කඩි අවශ්‍ය නැහැ. මිනී මරපු මිනිස්සු අවශ්‍ය නැහැ. දුෂිතයෝ අවශ්‍ය නැහැ."

Image copyright Maithripla Sirisena/FB

"අද සමහර අය සිහින මවනවා විස්සයි විස්සේ අලුත් ආණ්ඩු හදන්න. මම දැක්කා අපේ ආණ්ඩුවේ සමහර අයත් විස්සයි විස්සේ අලුත් ආණ්ඩු ගැන කතා කරනවා. ඒ හිටපු අයටයි ඉන්න අයටයි ඔක්කොටම මම කියනවා මේ රටේ අවංක දේශපාලනඥයෝ විදිහට ඒ සඳහා සුදුසු අය එකතු වෙන්න කියලා," යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගියදා අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස් වූ, පක්ෂයේ භාණ්ඩාගාරික එස්බී දිසානායක මන්ත්‍රීවරයා ද මැයි දින රැලියේ වේදිකාවේ සිටි අතර, දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල ඇතුලු මන්ත්‍රීවරු පිරිසක් ද රැලියට එක්ව සිටිනු දක්නට ලැබිණ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු වශයෙනි.

මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කර නව ආණ්ඩුවක් බිහි කිරීමට හැකි වුවහොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂවල එවක පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන පොරොන්දුවක් විය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2015 වසරේ මාර්තු මස බීබීසී සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ,"මැතිවරණයේදී අපි පැහැදිලිවම කියල තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල ඉවත් කරනවා කියලයි. මේ ධූරය අහෝසි කරනවා කියලත් අපි කියල නැහැ," යනුවෙනි.

2020 වසරේ දී විශ්‍රාම නොයන බව ප්‍රකාශ කළ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සඳුදා (මැයි 07) මඩකලපුවේ පැවති මැයි දින රැලියේ දී කිසිවක් ප්‍රකාශ නොකළේය.

මේ අතර තමන්ට 2021 දක්වා සිය ධුරය දැරිය හැකි දැයි මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුයේ 2020 වසරේ දී ඔහුගේ ධුර කාලය අවසන් වන බවය.

මේ අතර පසුගිය මාසයේ ලන්ඩන් නුවරදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේ ඉදිරි ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වන්නේදැයි කළ විමසීමට ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ, "මම හිතන්නේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ගැන දැනට කතා කිරීම අවශ්‍ය නැහැ" යනුවෙනි.

වසර එකහමාරක් හෝ දෙකක් ඉදිරියට ඇති දෙයක් ගැන අද කතා කිරීමෙන් රට තුළ "දේශපාලන අස්ථාවරත්වයක්" ගොඩනැගෙන බව ඒ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ අදහස විය.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර