"කටුනායක ගුවන්තොටුපළේ ගින්නට හේතුව පැහැදිළි නැහැ"

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ ගබඩාවක බදාදා (මැයි 09) අලුයම ගින්නක් හටගෙන තිබේ.

තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලකට අයත් ගබඩාවක ගින්න හට ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරියා පවසයි.

සාප්පු සංකීර්ණයට අයත් ප්‍රධාන ගබඩාව තුළ එම ගබඩාව පිහිටා ඇති බව කී ඔහු ගින්න පාලනය කර නිවා දැමීම සඳහා ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක ගිනි නිවීම් ඒකකය කැඳ වූ බව සඳහන් කළේය.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Image caption දුමාරයෙන් වැසී ගිය ගබඩා සංකීර්ණය

ගබඩාවේ තිබූ ශීතකරණ, රූපවාහිනි යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ තොගයක් ගින්නෙන් විනාශයට පත්ව තිබේ .

ගින්න හට ගැනීමත් සමග ගබඩා සංකීර්ණය අධික දුමාරයකින් වැසී යාම නිසා ගුවන් තොටුපළට අයත් බැකෝ යන්ත්‍රයක් යොදවා එහි පැති බිත්තියක් කඩා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ.

ශ්‍රී ලංකා රේගුව සමග එක්ව එම සාප්පුවේ සේවකයන් භාණ්ඩවලට සිදුව ඇති අලාභය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ .

කටුනායක ගුවන් තොටුපළ පොලිසිය ගින්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්;

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර