කොලොන්නාව ප්‍රහාරකයන් තවමත් නිදැල්ලේ - නීතිඥ වටගල

Image caption ඛනිජතෙල් කම්කරු විරෝධය අවස්ථාවේ දර්ශනයක්

ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දීය සමාගම්වලට පැවරීමට විරෝධය පළ කරමින් පසුගිය වසරේ කොලොන්නාවේ ඛනිජ තෙල් සංස්ථා භූමිය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටි එහි සේවකයන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

එම ප්‍රමාදය සම්බන්ධයෙන් පොලිසියට දොස් පැවරූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක, පහර දීමට හවුල් වූ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසියට අවසන් වශයෙන් දිනයක් ද නියම කළේය.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් පසුගිය වසරේ ප්‍රහාරයකට ලක් වූ එම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සහ හම්බන්තොට වරාය තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් සංස්ථාවට පවරා ගැනීම මෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම යන ප්‍රධාන ඉල්ලීම් තුනක් පෙරට තබමිනි.

එම උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරත වෙමින් සිටියදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඛනිජ තෙල් සේවකයන් විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල අද අධිකරණය හමුවේ විභාගයට කැඳවූ අවස්ථාවේ, එම සේවකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින්, එකී පහරදීමට දැන් මාස අටක් (08) ගතවී ඇති බව කියා සිටියේය.

"එම පහරදීම සඳහා කඩු පොලු රැගෙන පැමිණි පුද්ගලයන් කවුරුන්ද යන්න රූපවාහිනිය ඔස්සේ මුළු රටම දැක්කා. පහරදීමට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප අපි පොලිසියටත් අධිකරණයටත් ඉදිරිපත් කළා.ප්‍රහාරයට මාස අටක් ගත වී ඇතත්, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් සමත් වී නැහැ" නීතිඥ සුනිල් වටගල අධිකරණය දැනුවත් කරමින් සඳහන් කළේය.

Image caption ඛනිජ තෙල් සේවක වර්ජනය සමඟ ඇති වූ තෙල් හිඟය මහජනයාට බල පෑ ආකාරය

"ශ්‍රී ලංකාවේ පොලිසිය ඕනෑම අපරාධයක් නිරාකරණය කළ හැකි පොලිසියක් බව" පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇතත්, මේ නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතරම් මැළි කමක් දක්වන්නේ කුමක් නිසාදැයි" නීතිවේදියා ප්‍රශ්න කළේය.

පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ එම කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක, සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මෙතරම් ප්‍රමාද වීමට හේතුව කුමක්දැයි වැල්ලම්පිටිය පොලිසියෙන් ප්‍රශ්න කළේය.

"මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවන් කවුරුන්ද යන්න රූපවාහිනිය ඔස්සේ රටම දැක ගත්තා. පැමිණිලි පාර්ශ්වය විසින් සැකකරුවන්ගේ ඡායාරූපත් පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා. එසේ තිබියදීත් මෙම සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?" විනිසකරු පොලිසියෙන් ප්‍රශ්න කළේය.

ඒ සමඟ ප්‍රකාශයක් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා, ඉහත කී ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ජුනි මස අට (08) වෙනිදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය.

Image copyright Information department
Image caption ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර