ශ්‍රී ලංකා අලි පරපුරේ ඉරණම: "කුණු කන අලි"

Image copyright Getty Images

2012 සිට 2016 දක්වා වූ වසර පහක කාලසීමාව තුළ පොලිතීන් හා 'හඳුනා නොගත් අස්වාභාවික හේතු' මත මියගිය අලි සංඛ්‍යාව 383 ක් වන බව තමන් රැස්කළ දත්ත අනුව පෙනෙන්නට තිබෙන බව 'සුරකිමු ශ්‍රී ලංකා පරිසර සුරැකීමේ සංවිධානය' පවසයි.

සමීක්ෂණයට ලක්වූ සෑම වසරකදීම ආසන්න වශයෙන් වන අලි 75 ක් පමණ මේ අයුරින් මියගොස් තිබේ.

  • එලිෆස් මැක්සිමස් මැක්සිමස් [Elephas maximus maximus (ශ්‍රී ලාංකික අලි උප විශේෂය)] වඳවීයාමේ තර්ජනයට මුහුණපා ඇති සත්ව විශේෂයක් (1986) - පරිසරය සුරැකීමේ අන්තර්ජාතික එකමුතුව (International Union for Conservation of Nature)
  • අලි ගැවසෙන විවිධ ස්ථාන 20 ත් - 30 ත් අතර ප්‍රමාණයකට කසළ බැහැර කෙරෙනවා - වනජීවී අධ්‍යක්ෂ ජනරාල්
  • කසළ ආහාරයට ගන්නා වන අලි 500 ක් - ආචාර්ය සුමිත් පිලපිටිය
  • 'හඳුනා නොගත් අස්වාභාවික හේතු මත' වසරකදී වන අලි 75 ක් පමණ මියයයි - සුරකිමු ශ්‍රී ලංකා පරිසර සංවිධානය

'අලි සොයා පැමිණි කසළ'

ඇතැම් පළාත් පාලන ආයතන මෙන්ම පුද්ගලයින් ද අලි ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව විශාල වශයෙන් කසළ බැහැර කිරීම, අලි ඇතුන් ඒ වෙත නැඹුරු වීමට බලපෑ හේතුව බවට පත්ව තිබේ.

දඹුල්ල මහ නගර සභාව, හබරණ රක්ෂිතයේ දිගම්පතහ ප්‍රදේශයට මහ නගර බල ප්‍රදේශයේ කසළ මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉවතලන දෑ බැහැර කරයි.

එසේම, මේ වනවිට තිස්සමහාරාමයට ආසන්න උද්දකන්දර රක්ෂිතයට, කතරගම සහ සෙල්ලකතරගම අතර රක්ෂිත ප්‍රදේශයන්ට මෙන්ම, දිවයින පුරා පිහිටි විවිධ රක්ෂිතවලට කසළ බැහැර කරනු දකින්නට ලැබෙන බව සත්ව චර්යාවන් පිළිබඳ විශේෂඥයෙකුවන ආචාර්ය සුමිත් පිලපිටිය පවසයි.

මේ හේතුවෙන් වන සතුන් තමන්ගේ ස්වාභාවික අහාර රටාවෙන් මිදී, විශාල වශයෙන් කසළ හා මිශ්‍රවී ඇති ආහාර සඳහා යොමුවීමේ වර්ධනයක් පසුගිය වසර 10 ක පමණ කාලයක සිට දක්නට ලැබේ.

වනජීවී හෝ වන සංරක්ෂණ 'රක්ෂිත ප්‍රදේශයක්' ලෙස යම් භූමියක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්නේ, එය සංරක්ෂණය කිරීමට අවශ්‍ය නිසා බවත්, එසේ රක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කරන ලද තැනකට කැළි කසළ දමන්නට ඉඩහැරීම මූලිකවම වැරැද්දක් බව, බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ආචාර්ය සුමිත් පිලපිටිය ප්‍රකාශ කළේය. ඔහු අලින්ගේ චර්යාවන් පිළිබඳ දීර්ඝ කාලයක සිට පර්යේෂණයන්හි යෙදෙන්නෙකි.

"ඒ නිසා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගතයුතුයි මින් පසුවට රක්ෂිත ප්‍රදේශ වල කසළ බැහැර කිරීමට අවසර නොදීමට," ඔහු පැවසීය.

Image copyright Getty Images
Image caption වන සතුන් ස්වභාවික අහාර රටාවෙන් මිදී විශාල වශයෙන් කසළ හා මිශ්‍රවී ඇති ආහාර සඳහා යොමුවී ඇත.

වනජීවී දෙපාර්තමේන්තුවට අයත් භූමිවලට කසළ ගෙනැවිත් දැමීම ඉතා අල්ප වුවත්, අලි ගැවසෙන විවිධ ස්ථාන 20 ත් - 30 ත් අතර ප්‍රමාණයකට දැනට කසළ බැහැර කෙරෙන්නේයැයි හඳුනාගෙන ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, චන්දන සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවය සමග පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙනවිත් අළෙවි කරගත නොහැකිවූ එළවළු දිගම්පතහ රජයේ රක්ෂිතයට බැහර කරන බව පසුගිය සමයේ ජන මාධ්‍ය වාර්තා කළේය. සිය පලදාවට නිසි මිලක් ලබාගත නොහැකිවූ හේන් ගොවියෙක්, තම වට්ටක්කා අස්වැන්න වන අලියෙකුට ලබාදෙන වීඩියෝවක් පසුගිය සමයේ සමාජ ජාල ඔස්සේ ද බහුල ලෙස හුවමාරු විය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"රක්ෂිත ප්‍රදේශයකට කැළි කසළ දැමීමට ඉඩ හැරීම වරදක්"

"සමහර පළාත් පාලන ආයතන නීත්‍යානුකූල අනුමැතිය ඇතිව හෝ නැතිව රක්ෂිත ප්‍රදේශවලට කැළි කසළ බැහැර කරනවා. මූලිකම ප්‍රශ්නය ඇත්තේ එතැන. කැළි කසළ ජනනය වන්නේ නාගරික ප්‍රදේශවල බැවින්, ඒවා ප්‍රතිචක්‍රීයකරණය සිදුවිය යුත්තේ ද එහිදීමයි," ආචාර්ය පිලපිටිය පවසයි.

එසේ කරන්නේ නම් බොහෝ ගැටලු නිරාකරණයවන බව පවසන ආචාර්ය පිලපිටිය අවධාරණය කරන්නේ, අලි කසළ සොයා නොපැමිණි අතර අලි සිටින තැනට කසළ ගෙනගොස් දැමීම නිසා මෙම හානිය සිදුවූ බවය.

Image caption "මට තියෙන දත්ත අනුව දැනට ලංකාව පුරා අලි ඇතුන් 500 ක් පමණ කසළ ආහාරයට ගන්න හුරුවෙලා තියෙනවා" - හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

"කැළි කසළ සඳහා පැමිණෙන අලි ඇතුන් ප්‍රමාණය පිළිබඳ නිශ්චිත සංගණනයක් කර නැහැ. නමුත් සාමාන්‍යයෙන් එක් ස්ථානයක සතුන් 10 - 15 අතර ප්‍රමාණයක් ගැවසෙන බව පැහැදිළියි," වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර ප්‍රකාශ කළේය.

"මට තියෙන දත්ත අනුව, දැනට ශ්‍රී ලංකාව පුරා අලි ඇතුන් 500 ක් පමණ කසළ ආහාරයට ගන්න හුරුවෙලා තියෙනවා. බොහෝ තැන්වල ඉන්නේ පිරිමි සතුන් පමණයි. රංචු වශයෙන් සිටින තැනුත් තිබෙනවා. එහෙම වුනහම හානිය වැඩියි. මොකද පැටව් මෙයට හුරුවෙනවා," ආචාර්ය පිලපිටිය පැවසිය.

'අලින්ගේ පුරුද්ද'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"ලංකාව පුරා අලි ඇතුන් 500 ක් පමණ කසළ ආහාරයට ගන්න හුරුවෙලා"

"අලි යමකට හුරුවුනාට පසු එයින් මුදවා ගැනීම අපහසුයි. හේන් වගාවන් ආහාරයට ගැනීමට පුරුදු වූ අලි එයින් මුදවා ගැනීම අපහසු වනවා වගේම, කසළ ආහාරයට ගැනීමට පුරුදුවූ අලි නැවතත් එවැනි දේ සොයා එනවා."

රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව කසළ දමන්නේ නම් වන ජීවීන් ආරක්ෂා කරගත හැකි වනු ඇතැයි ද සත්ව චර්යාවන් පිළිබඳ විශේෂඥවරයා විශ්වාසය පළකරයි.

"මෙය පසුගිය වසර 5 - 10 අතර අලින් ඉගෙනගත් චර්යාවක්. අලින්ට කසළ සොයා ගැනීම අපහසු නම් උන් නැවත වනයේ ආහාරවලට හුරු වේවි."

සිදුවන හානිය සම්බන්ධයෙන් අදාල ආයතන දැනුවත්කර තිබෙන බව පැවසූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ඊට අමතරව අලින්ට එම නිශ්චිත ස්ථානයන්ට පැමිණිය නොහැකිවන පරිදි විදුලි වැට ඉදිකිරීමට පියවර ගනිමින් සිටින බව ද පැවසීය.

'කසළ තුළ සැඟවුන විපත'

අපද්‍රව්‍ය අහාරයට ගැනීමෙන් විෂ වර්ග ශරීර ගතවීමට හැකියාව ඇති බවත්, කසළ සමග විදුරු කැබලි මුඛය තුළට ගැනීමෙන් ඇතිවිය හැකි තුවාල හේතුවෙන් ආහාර ගැනීමට නොහැකි වීම සිදුවිය හැකි බවත්, පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍ය ආහාර මාර්ගයේ රැඳීමෙන් සතුන් විවිධ ආබාධවලට ලක්වෙන බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

එසේම, පොලිතීන් ඇතුළත ඇති ආහාර කොටස් සමග වැඩෙන ශුද්‍ර ජීවීන් මෙම වන සතුන්ගේ සෞඛ්‍යයට ඉතාම අහිතකර ලෙස බලපාන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

කසළ ආහාරයට ගැනීම නිසා ඇතිවන සංකුලතා හේතුවෙන් සතුන් මරණයට පත්විය හැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී ප්‍රකාශ කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"බැක්ටීරියා නිසා ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය නිපදවෙනවා"

"කැළි කසලත් සමග බැහැර කරන ආහාර, විශේෂයෙන් ම පොලිතීන් බෑග් තුළ ඇති ආහාර සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර, නිර්වායු ස්වසනය යටතේ ක්‍රියාකරන බැක්ටීරියා නිසා ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය නිපදවෙනවා. ආහාරයට ගැනීමත් සමග මේවා ශරීරයට ඇතුල් වෙනනිසා අහාර ජීර්ණ පද්ධතියේ සිදුවන සාමාන්‍ය ක්‍රියා සිදුවන්නෙ නැහැ."

ඒ හේතුවෙන් සත්වයා බෙලහීනතාවට පත්ව ඇවිදීමට පවා නොහැකි විය හැකි බව වෛද්‍ය තාරක ප්‍රසාද් පැවසිය. එවැනි සතුන්ට ප්‍රතිකාර කිරීමට අපහසු තත්ත්වයක් නිර්මාණයවන බැවින් ඔවුන් මරණයට පවා පත්වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තවත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර