මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාගේ "දේහය මුදා හරින්න"

Image copyright DCRFC

ශ්‍රී ලංකාවේ දී අබිරහස් ලෙස මියගිය තෝමස් බැටී නමැති බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයා ගේ මෘත ශරීරය ඔහුගේ පියා වෙත මුදාහරින මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළේ, ශ්‍රී ලංකාවේ දී මිය ගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කැඳ වූ අවස්ථාවේදීය.

මෙහිදී 26 හැවිරිදි තෝමස් බැටී ක්‍රීඩකයාට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවති අතර එහිදී මූලික සාක්ෂි සටහන් කර ගැනිණ.

අනතුරුව එම ක්‍රීඩකයාගේ මෘත ශරීරය ඔහුගේ පියා වෙත මුදා හරින මෙන් නියම කළ මහේස්ත්‍රාත්වරිය මෘත ශරීරය බ්‍රිතාන්‍යයට රැගෙන යාමේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉටුකිරීමට පියවර ගන්නා ලෙස ද නියම කළාය.

මේ අතර ශ්‍රී ලංකාවේදී බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩකයන් දෙදෙනාගේ මරණයට මත්ද්‍රව්‍ය ද හේතු වූයේ දැයි ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටී.

තෝමස් බැටී සහ 25 හැවිරිදි තෝමස් හවර්ඩ් මියගියේ සිය සංචාරය අතරවාරයේ කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විනෝදවීමෙන් අනතුරුවය.

තෝමස් හවර්ඩ් ගේ මරණය පිළිබඳ පැවති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වූයේ ඔහුගේ මරණයට හේතුව තුවාලයක් හෝ ස්වභාවික හේතුවක් නොවන බවය.

ඔහුගේ සිරුරු කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා තිබෙන නමුත් මත්ද්‍රව්‍ය එයට හේතු වූයේ දැයි පරීක්ෂණ පවත්වන බව බීබීසී කළ විමසීමකදී පොලිසිය සනාථ කළේය.

තෝමස් හවර්ඩ් ක්‍රීඩකයාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිකුරාදා (මැයි 18) පැවැත්වීමට ද අධිකරණය නියෝග කෙළ්ය. ඒ අනුව ඔහුගේ මෘත ශරීරය මුදා හැරීම පිළිබඳ නියෝගය එහිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.