ශ්‍රී ලංකාව: ගංවතුර සහ නාය යෑම් "නැරඹීමට යාමෙන් වළකින්න"

Image caption සංරක්ෂිත ඡායාරූපයක්

කැලණි, කළු, නිල්වලා, ගිං යන ගංගා සහ මා ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් හට ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී ඇති අතර විශාල පිරිසක් අනතුරුදායක කලාපවලින් ඉවත් කර ඇති බව එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ගංවතුර සහ නාය යාම් නැරඹීමට යාමෙන් වැළකී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කොලොන්න, නිවිතිගල, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල, කහවත්ත යන ප්‍රදේශවලට ගංවතුර තත්ත්වය බලපා තිබේ.

ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර ගලා ඇති අතර ඒ ආශ්‍රිතව වෙසෙන පවුල් රැසක් ඉන් ඉවත් කර ඇත.

Image caption සංරක්ෂිත ඡායාරූපයක්

නිල්වලා ගඟ ආශ්‍රිත පිටබැද්දර සහ පානදුව යන ප්‍රදේශ තුළ ද ගංවතුර තත්ත්වයක් දැකිය හැකි බව ඉහත කී නිවේදනයේ සඳහන් වේ.

කැලණිය ගඟ ආශ්‍රිත හොලොම්බුව ප්‍රදේශය, නෝවුඩ් ප්‍රදේශය තුළ ද ගංවතුර තත්ත්වයන් දැකිය හැක.

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, වලල්ලාවිට සහ ඉංගිරිය යන ප්‍රදේශවලත් කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, මාවනැල්ල සහ අරනායක යන ප්‍රදේශ තුළ ද ගංවතුර තත්ත්වයන් වාර්තා වේ.

අනතුරුදායක කලාපවලින් ඉවත්ව තාවකාලික ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කළු, කැළණි සහ ගිං යන ගංගාවල ජල මට්ටම ඉහළ යා හැකි බැවින් විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම ගංගාවල පහළ කොටස් දෙපස වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක නාය යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසයි.

එම ආයතනය විසින් නිකුත් කරන ලද රතු නිවේදනයට ප්‍රතිචාර දක්වමින් අනතුරුදායක ස්ථාන ආශ්‍රිතව වෙසෙන ජනතාව ඉන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන පරිදි නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ කාල සීමාව තුළ අවධානය යොමු කළ යුතු කරුණු පහත දැක්වේ.

නාය යෑම්: පූර්ව ලක්ෂණ මොනවාද?

  • 01. පොළොවේ ඇති වන ඉරි තැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළොවේ ගිලා බැසීම්

  • 02. ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි සහ දුරකථන කණු සහ වැටවල් සඳහා යොදා ඇති කණු

  • 03. ගොඩනැගිලිවල ගෙබිම සහ බිත්ති මත ඇති වන පිපිරුම් සහ ඒවායේ ක්‍රමික වර්ධනය වීම්

  • 04. එකවර ජල උල්පත් ඇති වීම හෝ පෙර පැවති ජල උල්පත් බොර වීම, අවහිර වීම හෝ නැති වී යාම

POWERMIN.GOV.LK

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ මධ්‍යම යන පළාත් මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක තුළ සඳුදා (මැයි 21) මිලිමීටර 100 වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන වන විට එම ප්‍රදේශ තුළ තාවකාලික තද සුළං ඇති විය හැකි බව සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර රත්නපුර, දෙහිඕවිට, නිවිතිගල යන අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින වසා තැබෙනු ඇති බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය පවසයි.

ආපදාවට පත් ප්‍රදේශ තුළ ඇති පාසල් වසාදමන සහ යළි විවෘත කරන දිනයන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට පවරන බව අධ්‍යාපන ඇමතිවරයා පවසා තිබේ.