ගංවතුර තත්වය: කළු ගඟ රළු වෙයි, "කැලණි ගඟ ගැන විමසිල්ලෙන් සිටින්න"

Image caption කැලණිය, තල්වත්ත ප්‍රදේශයේ ගංවතුර (ඡායාරූපය: කලණි විජේබණ්ඩාර)

කළු ගඟ ධාරා ප්‍රදේශයට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟෙහි ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා මහ ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රතිඵලයක් ලෙසින් රත්නපුර ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර, දැනට ඉහළ ධාරා ප්‍රදේශයේ පවතින වර්ෂාපතනය එලෙසම පැවතියහොත් ඉදිරි පැය කීපය තුළ මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ ඉඩක් පවතින බවට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳුදා පස්වරුවේ නිකුත් කළ නිවේදනයකින් අනතුරු අඟවයි.

කළුතර, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය කොට්ඨාසවල වෙසෙන ජනතාව හදිසි ගංවතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා අවශ්‍ය නම් ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී තිබේ.

විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා, අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව සහන සැලසීමේ කටයුතු කඩිනම් කරන මෙන් උපදෙස් දුන් බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ගංඟාවල ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසිලිමත් වන ලෙසත්, නාය යෑම් ලක්ෂණ දුටුවහොත් වහාම එම ස්ථානවලින් ඉවත් වීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

"ගංගා ජල මට්ටම වැඩි වී තිබෙනවා. රත්නපුර, කළුතර ප්‍රදේශවල පුද්ගලයන් ඉවත් කරමින් පවතිනවා. කැලණි ගඟේ ජල මට්ටම වැඩි වෙමින් පවතිනවා. ගිං ගඟේ ජල මට්ටම, තවලම ප්‍රදේශයේ වැඩි වෙමින් පවතිනවා," ඔහු පැවසීය.

Image caption ගාල්ලේ ගංවතුර තත්වය

එමෙන්ම කැළණි ගඟේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විමසිල්ලෙන් සිටින ලෙසත් අවශ්‍ය ආරක්‍ෂිත පියවර ගන්නා ලෙසත් එම මධ්‍යස්ථානය කැළණි ගග දෙපස සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම මධ්‍යස්ථානය පවසන පරිදි කොළඹ, කැලණිය, කොලොන්නාව, බියගම, කඩුවෙල, හංවැල්ල,දොම්පේ, රුවන්වැල්ල, දෙහිඕවිට,දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව කැළණි ගඟේ ජල මට්ටම පිළිබඳ විමසිලිමත් විය යුතුය.

නාය යාමේ අවදානම ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ ප්‍රදීප් කොඩිප්පිලි, "නාය යෑම් නිවේදන අඛණ්ඩව නිකුත් කරනු ලැබුවා. රත්නපුර, කළුතර, කෑගල්ල, නුවර එළිය, මහනුවර යන දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශවල, රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා," යනුවෙන් ද සඳහන් කළේය.

"කැලණි ගඟ සහ කළු ගඟ ජල මට්ටම වැඩි වෙමින් පවතිනවා. ජනතාව මේ පිළිබඳව විමසිලිමත් වන්න. අනාරක්ෂිත ප්‍රදේශවල දිය නෑමෙන් වළකින්න."

අකුණු අනතුරු හේතුවෙන් මරණ තුනක් වාර්තා වී ඇති බැවින් නිවෙස් තුළ විද්‍යුත් පරිපථ විසන්ධි කොට ආරක්ෂිතව රැදී සිටින මෙන් ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ආපදා තත්වයන් සම්බන්ධයෙන් දැනුම් දීම පිණිස 117 දුරකථනය පැය 24 පුරා ක්‍රියාත්මකව පවතී.

Image caption ගාල්ලේ ගංවතුර
Image caption පුත්තලමේ ගංවතුර

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳුදා දහවල නිකුත් කරන ලද දත්ත ප්‍රකාර ආපදාවට ලක් වූ පවුල් 285 ට අයත් 1024 දෙනෙක් මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රඳවා සිටිති.

අයහපත් කාලගුණය හේතුවෙන් 13,000 කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී තිබෙන අතර, නිවාස 173 ට පමණ අර්ධ හානි සිදු වී තිබේ.

බලපෑම එල්ලවූ පිරිස අතරින් 8500 ට වැඩි පිරිසක් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.

මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණය සහ අහස බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳුදා පස්වරු 05.30 නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් විට මිලිමීට 150 ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Image caption කැලණි රජ මහා විහාරස්ථානය අසල ගංවතුර (ඡායාරූපය: කලණි විජේබණ්ඩාර)
Image caption ගාල්ලේ ගංවතුර

අයහපත් කාළගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4925 ක පිරිසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්එච්එම් චිත්‍රානන්ද පැවසීය.

නාත්තන්ඩිය ප්‍රදේශයේ ජනතාව මුදා ගැනීමේ කටයුතු 21 පස්වරුව වන තුරුම ක්‍රියාත්මක වූ අතර, විජයකටුපොත වැවේ තිබූ ඔරු දොළහකට අසන්න ප්‍රමාණයක් අතුරුදන් වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ 200 දෙනෙකු පමණ ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ ගාල්ල දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්‍ෂ කර්නල් දම්පත් රත්නායක සඳහන් කළේය.

මේ වන විට ගාල්ල නෙළුව, තවලම යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයන්හි ජලය ශීඝ්‍රයෙන් බැස යමින් ඇති බව ද එම ඒකකය පෙන්වා දෙයි.

මේ අතර හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිපේ ප්‍රදේශයේ සුළු නාය යාම් කිහිපයක් හටගෙන තිබේ. ප්‍රදේශයෙන් ඉවත්වන මෙන් එහි පදිංචි පුද්ගලයින් වෙත මීට පෙර අනතුරු ඇඟවීම් නිකුත්කර තිබුණි.

තවත් කියවන්න: