ගංවතුර සහ නාය යෑම්: මරණ සංඛ්‍යාව ඉහළට

රත්නපුර සීවලී ක්‍රීඩාංගනය
ශ්‍රී ලංකාව පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් නවදහසකට අධික සංඛ්‍යාවකට අයත් පුද්ගලයන් හතළිස් දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණය හමුවේ මරණයට පත් සංඛ්‍යාව අට දක්වා ඉහළ ගොස් ඇති බවත් එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ගංවතුර හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයටය.
කළු ගඟ
රත්නපුර බටුගෙදර ප්‍රදේශය
රත්නපුර දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව දහතුන් දහසකට ආසන්නය.
පීඩාවට පත් පවුල් කඳවුරු 22 ක රඳවා ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එස්. එච්. මුදිත මංජුල බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
එමෙන්ම මේ වනවිට රත්නපුර නගරය ආශ්‍රිත කළු ගඟේ ජල මට්ටම පහළ යමින් තිබෙන බවත් ඔහු කියා සිටියේය.
රත්නපුර නගරයේ ගංවතුර මේ වනවිට සම්පුර්ණයෙන්ම බැස ගොස් ඇති අතර ජලයෙන් යටවී තිබු වෙළෙඳසැල් පිරිසිදු කරන ආකාරය දැකගත හැක.
කෙසේ නමුත් රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයේ සමන් දේවාලය ආසන්න ප්‍රදේශය තවමත් ජලයෙන් යටවී පවතින අතර එහි ගමනාගමන කටයුතු අඩාල වී ඇත.
රත්නපුර, නිවිතිගල, දෙහිඕවිට යන අධ්‍යාපන කලාපයන්හි පාසල් අද (මැයි 22) වසා තැබිණි.
මේ අතර කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නාගලගම් වීදිය, හංවැල්ල යන ප්‍රදේශ තුළ ගංවතුර තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය.
ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බද්දේගම ප්‍රද්ශයේ ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බව කී ඔහු විමසිල්ලෙන් පසුවන ලෙස එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව අත්තනගලු ඔය, නිල්වලා, මහවැලි යන ගංගාවල ජල මට්ටමේ වැඩිවීමක් දක්නට ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණය සහ අහස වලාකුලින් බර ස්වභාවය ඉදිරි දින කීපය තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.