මැලේරියා: "ශ්‍රී ලංකාව තුළ නැතත්, රටට එන අයගෙන් බෝවීමේ ඉඩක්"

Image copyright Science Photo Library

දේශීය වශයෙන් මැලේරියා රෝගීන් වාර්තා නොවන නමුත්, විදේශයන්හිදී මැලේරියාව වැළඳුන පුද්ගලයන් 50 ක් පමණ වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් ඔවුන්ගෙන් ලාංකිකයන්ට රෝගය වැළඳීමේ අනතුර පහවගොස් නොමැති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

"අවසන් මැලේරියා (දේශීය) රෝගියා වාර්තා වුනේ 2012 වසරේ ඔක්තෝබර් මාසයේ. එනමුත් විදේශයන්හි සිට පැමිණෙන මැලේරියා රෝගීන් 50 ක් පමණ සෑම වසරකදීම වාර්තා වෙනවා. ඔවුන් විදේශ රටවලදී රෝගය වැළඳුන අය මිසක් ලංකාවේදී රෝගය වැළඳුනු අය නෙවෙයි." බීබීසී සිංහල සේවයට තොරතුරු පැහැදිලි කළ මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අවසන් මැලේරියා (දේශීය) රෝගියා වාර්තා වුනේ 2012 වසරේ ඔක්තෝබර් මාසයේ.

"2012 න් පසුව දේශීය රෝගියෙක් වාර්තා නොවීමෙන් මැලේරියා පරපෝෂිතයා ලංකාවෙන් මුළුමනින්ම තුරන්වී ඇති බව තහවුරු වෙනවා. නමුත් මැලේරියා රෝගය බෝකරන මදුරුවා තවමත් ලංකාවෙ ඉන්නවා. ඒ නිසා පිටරටින් නැවත මේ පරපෝෂිතයා ලංකාවට පැමිණිය හොත්, නැවත වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. එය අවම කිරීමේ අරමුණින් පිටරටින් පැමිණි රෝගීන් හැකි ඉක්මණින් සොයාගෙන ප්‍රතිකාර කර පරපෝෂිතයා විනාශ කිරීම අපි කරනවා." අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසිය.

Image copyright Getty Images

සබැඳි පුවත්:

පරපෝෂිත ජාන අධ්‍යයනය

කේම්බ්‍රිජ් හි පිහිටි Wellcome Sanger විද්‍යායතනයේ පර්යේෂකයන්ගේ මූලිකත්වයෙන් පරපෝෂිත ජාන පිළිබඳ කරන ලද අධ්‍යයනයකදී මැලේරියාව මාරාන්තික බවට පත්වන්නේ කෙසේදැයි අනාවරණයවී තිබේ. ඒ සඳහා, පර්යේෂණයට යොදාගත් මැලේරියා පරපෝෂිත විභේදයන්ගේ පරම්පරා ඔස්සේ යමින්, මැලේරියා වර්ග 7 ක අතීතය පිළිබඳ දත්ත රැස් කර ඇත.

වසර 50 000 කට පමණ පෙර, එක් "උප විශේෂයක්" මනුෂ්‍ය වර්ගයාට මාරාන්තික වෙමින් මෙම පරපෝෂිතයන් එකිනෙක විභේදනය වී ඇති බව මෙමගින් අනාවරණය විය. මෙම විභේදනයේදී මිනිසාගේ රතු රුධිරානුවලට බලපාන අයුරින් පරපෝෂිත ජාන වෙනස් වීමකට ලක්වී ඇත. මෙම සොයා ගැනීම්, 'ස්වභාවික ක්ෂුද්‍ර ජීව විද්‍යා' (Nature Microbiology) සංග්‍රහයේ ප්‍රසිද්ධියට පත්කර ඇත.

මර්දනය සහ පාලනය

ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම පරපෝෂිතයා විනාශ කිරීම හරහා නැවත රට තුළ වසංගතයක් ඇතිවීම අවම කරගැනීමට හැකියාව ලැබී තිබෙන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසිය.

විදේශයන්හි සිට වසරකට මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් ලංකාවට පැමිණෙන බැවින් සියලු දෙනාම පරීක්ෂා කිරීම ප්‍රායෝගික හා යුක්ති යුක්ත කටයුත්තක් නොවන බව අධ්‍යක්ෂවරයාගේ අදහස වේ.

"අපි සොයාගෙන තියෙනවා අධි අවදානම් කණ්ඩායම්. එය ඉලක්ක කරගෙන අපි විවිධ වැඩසටහන් කරනවා. උදාහරණයක් විදියට මැණික් ව්‍යාපාර සඳහා මොසැම්බික් සහ මැඩගස්කරයට යන අය ඉන්නවා. ඒ අය ඉලක්ක කරගෙන ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රජා නායකයො සම්බන්ධ කරගෙන විටින් විට ඒ අය සමග සාකච්ඡා කර, ඒ ආසන්නයේ විදේශගතවූ අයගේ ලේ පරීක්ෂා කරනවා. සමහර අවස්ථාවල මේ රෝගය වැළඳුන අය අපි හොයාගෙන තියෙනවා." වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේය.

Image copyright Science Photo Library

ලෝක ව්‍යාප්ත මාරයා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වාර්ෂිකව ලොවපුරා මිලියන 200 ට වැඩි පුද්ගලයන් පිරිසකට මැලේරියාව වැළඳේ. ඒ අනුව 2016 දී මැලේරියාව හේතුවෙන් මිලියන භාගයක් පමණ මියගිය බව එහි වාර්තාවල සඳහන්වේ. මියගිය අයගෙන් බහුතරය වයස අවුරුදු පහට අඩු දරුවන්වේ.

ප්ලස්මොඩියම් ෆැල්සිපරම් (Plasmodium falciparum) යනුවෙන් හඳුන්වන මෙම මාරාන්තික පරපෝශිතයාගේ වාහකයා වන්නේ ඇනෝෆිලිස් (Anopheles) මදුරුවාගේ ගැහැණු සතාවේ.

ක්‍රමවේදය

ශ්‍රී ලංකාවේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ 'ප්‍රධාන ක්‍රමවේදය' ලෙස උණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී විදේශගත වූයේදැයි විමසා එසේ නම් මැලේරියා රෝගය සඳහා පරීක්ෂා කිරීමට පියවර ගැනිමය. එසේම, විදේශගතව සිට පැමිණි උණ රෝගීන් හැකි ඉක්මණින් වෛද්‍යවරයා වෙත ගොස් තමන්ගේ විදෙස් ගමන් පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කර ප්‍රතිකාර ලබා ගැනීමට ද උපදෙස් දී තිබේ.

"ඊට අමතරව අපි වාහක මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විදේශයකදී රෝගය වැළඳුනු අයෙකුට දෂ්ඨ කිරීමෙන් රෝගය බෝවීමේ අවදානම තිබෙන නිසා මදුරු ඝණත්වය අවම මට්ටමකින් පවත්වාගෙනයාමට කටයුතු කරනවා." අධ්‍යක්ෂවරයා පවසයි.

"විදේශයක සිට පැමිණි රෝගියෙක්ගෙන් සාමාන්‍ය පුද්ගලයෙක්ට රෝගය බෝවීමේ සම්භාවිතාවක් තියෙනවා. නමුත් මේදක්වා එවැනි රෝගියෙක් අපට හමුවී නැහැ. සොයාගත් සියලුම රෝගීන්ට රෝගය වැළඳී ඇත්තේ විදේශයන්හිදී බව විශේෂඥ මණ්ඩලයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ නිසා 2012 න් පසු ලංකාවේ දී මැලේරියා වැළඳුන කිසිදු රෝගියෙක් වාර්තා නොවන බව පැහැදිළිවම කියන්න පුළුවන්." මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර