අල්ලස් පරීක්ෂණයක් වෙනුවෙන් සැකකරුවන්ගේ කටහඬ ලබාගත හැකිද?

Image copyright Thinkstock

අපරාධ පරීක්ෂණයක විමර්ශන කටයුතු සඳහා මිනිස් කටහඬ ලබාදෙන මෙන් සැකකරුවකු වෙත නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් තිබෙන්නේ ද යන්න පිළිබඳ සිය තීන්දුව ජුනි 05 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පැවසීය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක ඒ බව දැනුම් දුන්නේ රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින ජනාධිපති කාර්යමණ්ඩල හිටපු ප්‍රධානී අයිකේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අයට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ අල්ලස් කොමිසමේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනී, දැනට ක්‍රියාත්මක පරීක්ෂණ සඳහා අදාළ සැකකරුවන් දෙදෙනාගේ කටහඬ අවශ්‍යව ඇතැයි දන්වා සිටියේය.

ඒ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ පරීක්ෂණාගාරය වෙත සැකකරුවන් රැගෙන ගොස් ඔවුන්ගේ කටහඬ සාම්පල ලබා දෙන මෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ද ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එහෙත් විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේය.

"ස්වාමීනි මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට නීතියෙන් කිසිදු ප්‍රතිපාදනයක් නෑ. 2005 වසරේ අපරාධ නඩු විධාන සංග්‍රහයට සිදුකළ සංශෝධනය තුළින් මෙවැනි පරීක්ෂණ සඳහා සැකකරුවන්ගේ කටහඬ ලබාදෙන මෙන් නියෝගයක් නිකුත් කළ යුතු බවට එහි කිසිවක් සඳහන් වන්නේ නෑ," නීතිඥ රියන්සි අර්සකුලරත්න පැවසීය.

"පරීක්ෂණ කටයුතු සඳහා සැකකරුවන්ගේ හඬ ලබාදිය යුතු බවට නීතියක් පැනවීමට අවශ්‍ය බව පාර්ලිමේන්තුව කල්පනා කළේ නම් එම සංශෝධනය තුළ එය ඇතුළත් විය යුතුව තිබුණා. එවැන්නක් ඇතුළත් නොවීම තුළින් පෙනී යන්නේ සැකකරුවන්ගේ කටහඬ පරීක්ෂණ සඳහා ලබාදිය යුතු බවට නියෝග නිකුත් කිරීමේ බලතල අධිකරණය වෙත පැවරීමට පාර්ලිමේන්තුව අදහස් කර නොමැති බවයි."

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක ප්‍රශ්නයක් මතු කරමින් සැකකරුවන් කැමැත්ත පළ කරන්නේ නම් ඔවුන්ට සිය කටහඬ පරීක්ෂණ සඳහා ලබාදීමට හැකියාව පවතින බව පෙන්වා දුන්නේය.

එහෙත් සැකකරුවන් කැමැත්ත පළ කළත් ඒ සඳහා නීතිමය ප්‍රතිපාදනයක් නොමැති නම් අල්ලස් කොමිසම විසින් කරන ඉල්ලීම ඉටු කිරීමට හැකියාවක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙහිදී අල්ලස් කොමිසමේ නීතිඥවරයා සඳහන් කර සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වෙනි වගන්තිය යටතේ පරීක්ෂණවලට සහය වීමට අවශ්‍යකරන නියෝග නිකුත් කිරීමේ බලතල මහේස්ත්‍රාත්වරයා සතු වන බවය.

ඒ අනුව ලබන ජුනි 05 වෙනිදා දක්වා සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනය ඉදිරිපත් කරන මෙන් ද අල්ලස් කොමිසමට නියම කළේය.

තවත් කියවන්න: