සුනඛයෙකුගේ අයිතිය ගැන අර්බුදය ගාල්ල අධිකරණය හමුවට

Image copyright Getty Images
Image caption ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් දෙදෙනෙක් (නඩුවට අදාළ සුනඛයා නොවේ)

සාමාන්‍යයෙන් අධිකරණවල විභාගයට ගැනෙන්නේ මිනිසුන්ගේ නඩු විභාග වුවත් ඉඳහිට සතුන්ට අදාළ නඩු ද විභාග කෙරෙන අවස්ථා අසන්නට ලැබේ.

එසේ සුනඛයෙකු සම්බන්ධ නඩුවක තීන්දුවක් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

අදාළ නඩු විභාගයේ දී සඳහන් වූ ආකාරයට ගාල්ල හබරාදුව පොලිස් වසමේ පිලාන ප්‍රදේශයේ නිවසක ලයන් ෂෙපර්ඩ් වර්ගයට අයත් රුපියල් විසි දහසක් වටිනා සුනඛ පැටවෙකු ඇති දැඩි කර තිබේ.

එම සත්වයාට කෑම බීම ලබා දී ඇති දැඩි කර තිබෙන්නේ කාන්තාවක විසිනි. දිනක් ඇය සුනඛයාට කෑම රැගෙන යනවිට කූඩුවේ දොර හැර දමා තිබූ අතර සත්වයා එතුළ සිට නැත.

සිය සුනඛ පැටවා සොයා ගැනිමට නොහැකි වූ නමුත් ඇය සිය සුනඛයාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද කර නැත.

මේ අතර පසුගිය සතියේ (මැයි 14) මවක සහ පුතෙකු අතර ආරවුලක් හටගෙන පොලිසියට පැමිණි අවස්ථාවක සිය පුතා විසින් සිදුකරන ලද සුනඛ සොරකමක් පිළිබඳ මව විසින් හෙළි කරන ලදි. ඔහු එම සුනඛ පටවා සොරකම් කර වෙනත් ප්‍රදේශයක පුද්ගලයෙකුට රුපියල් පහළොස් දහසකට විකුණා ඇති බවට එහිදී තොරතුරු අනාවරණය විය.

Image copyright Getty Images

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සුනඛයා ද සොයාගැනීමට හැකි වී තිබේ.

සුනඛයාගේ එන්නත් කිරිමේ සටහන් පොත ඇතුලු අනෙකුත් ලේඛන සුනඛයා ඇති දැඩි කරන ලද පුද්ගලයා සතුව තිබියදි පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු ඇප මත මුදා හැරිණ. මේ අතර එය සැලවූ සුනඛයාට අයිතිවාසිකම් කියන කාන්තාව පොලිසියට පැමිණ සුනඛයා ඉල්ලා සිටියේය. සැකකරුගෙන් සුනඛයා මිලට ගත් පුද්ගලයා ද පැමිණ ලේඛන ඉදිරිපත් කොට සුනඛයා තමන්ට පවරන මෙන් ඉල්ලා සිටියේය.

එම ගැටලුව විසඳීමට තමන්ට නොහැකි බව තීරණය කළ පොලිසිය, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සුදුසු නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩුව පසුගිය බදාදා (මැයි 16) මුලින්ම කැඳවින.

පසුව පසුගිය සිකුරාදා (මැයි 18) පිටු හතළිස් එකකින් යුත් දිර්ඝ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අයිතිය තහවුරු කිරිමට අදාළ කාන්තාව සතුව කිසිදු සාක්ෂියක් නොමැති බවය.

සුනඛයා සොරකම් කර ඇති බවට ඇය පොලිසියට පැමිණිලි කර නොමැති අතර, සුනඛයා ඇති දැඩි කළ බවට සහ නඩත්තු කළ බවට ඇය සතුව කිසිදු ලේඛනයක් හෝ දේපලක් නොමැති බවත්, ඇය සුනඛයාගේ නම පවා නොදන්නා බවත් එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

දැනට සුනඛයා සම්බන්ධ ලේඛන තිබෙන්නේ ඇතිකරන ලද පුද්ගලයා සන්තකයේ බව පැවසූ මහේස්ත්‍රාත්වරයා ඒ අනුව අයිතිවාසිකම් කියු කාන්තාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රුපියල් තිස් දහසක බැඳුම්කරයක් මත සුනඛයා හදාගත් පුද්ගලයාටම මුදා හැරීමට නියෝග කළේය.

එම සුනඛයා මියගියහොත් ඒ බව ප්‍රදේශයේ පශු වෛද්‍යවරයාට සහ ග්‍රාම නිලධාරිවරයාට දන්වා වාර්තාවක් ලබාගෙන අධිකරණට ඉදිරිපත් කළ යුතු බවටත් එහිදී නියෝග කෙරිණ.

තවත් කියවන්න: