ගංවතුර සහ නාය යෑම්: "ආපදා මල්ල ළඟ තබා ගන්න"

Image copyright Getty Images

අයහපත් කාලගුණය හමුවේ මරණයට පත් සංඛ්‍යාව දහය දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පවසන පරිදි ඉන් සිව් දෙනෙකු මිය ගොස් ඇත්තේ අකුණු අනතුරුවලට ලක්වීමෙනි.

දිස්ත්‍රික්ක දාහතරක පවතින ගංවතුර සහ නාය යෑම් ඇතුළු අහයපත් කාලගුණය හමුවේ අසූහතර දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

ඉන් විසි හත්දහසක් ආරක්‍ෂිත කඳවුරු 197 ක රඳවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

Image copyright Getty Images

රට පුරා තවදුරටත් වැසි වාර්තා වන අතර බදාදා (මැයි 23) රාත්‍රියේ වැසි තීව්‍ර වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම කඳුකරය මෙන්ම ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් තුළ මිලිමීටර 150 පමණ වැසි බලාපොරොත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කැලණි සහ කළු ගංගාවල පහත් බිම්වලට අයත් ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බව කී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ද තවමත් ජලයෙන් යටවී පවතින බව සඳහන් කළේය.

Image caption රත්නපුර සීවලී ක්‍රීඩාංගනය (මැයි 22)

දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගිං ගඟ, අත්තනගලු ඔය සහ නිල්වලා ගඟ දෙපස සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී.

විපතට පත් වුවන්ට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව බෝට්ටු යොදවා ඇති බවත් එම මධ්‍යස්ථානය පැවසීය.

කළුතර, ගාල්ල, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුළ නාය යාම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති 'ඇම්බර්' නිවේදනය එලෙසම පවතී.

නාය යාමේ පූර්ව ලක්ෂණ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ සම්බන්ධයෙන් 117 දුරකථන අංකය පැය 24 පුරා විවෘත බව සඳහන් කරයි.

ගංගා දෙපසින් ඈත්වී ගංවතුර නැරඹීමට යාමෙන් වැළකී සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

හදිසි අවශ්‍යතාවකදී ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා 'ආපදා මල්ල' ළඟ තබා ගන්නා ලෙසත් එම ආයතනය ඉල්ලීමක් කරයි.

ආපදා මල්ල' තුළ තබා ගත හැකි දෑ :

  • ඖෂධ
  • අත්‍යවශ්‍ය ලිපිගොනු
  • රත්‍රන් අභරණ වැනි වටිනා දේ
  • විදුලි පන්දමක්
  • කුඩා රේඩියෝ යන්ත්‍රයක්

මේ වන විට දැදුරු ඔය, ලක්ෂපාන, උඩවලව සහ කුකුලේ ගඟ ජලාශවල වාන් දොරටු විවෘතව ඇත.