ඉන්ෆ්ලුවෙන්සා: "දකුණු පළාතේ වසංගත තත්ත්වයක් නැහැ"

Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් පෙර පාසල් සහ පාසල්වල ප්‍රාථමික අංශ දින කීපයක් වසා දැමීමට තීන්දු කළත් එම පළාතේ වසංගත රෝගී තත්ත්වයක් වර්ධනය වී නොමැති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දරුවන් වෙත වෛරසය ශරීර ගතවීමේ වැඩි අවදානමක් පවතින බවය.

කෙසේ නමුත් ඉදිරි දෙසතිය ඇතුළත වෛරසය පැතිර යාම පාලනය වනු ඇති බවට ඔහු බලාපොරොත්තු පළ කළේය.

දකුණු පළාතේ සියලුම පෙර පාසල් ඉදිරි සතියේත් (මැයි 28 සිට ජුනි 01 දක්වා) වසා තැබීමට තීන්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා මීට ඉහතදී නිවේදනය කළේය.

එමෙන්ම දකුණු පළාතේ අධ්‍යාපන කලාප අටකට අයත් 1 සිට 5 ශ්‍රේණිය දක්වා වන ප්‍රාථමික අංශ මැයි 24, 25 සහ 28 යන තෙදින තුළ වසා තැබීමට උපදෙස් දුන් බවත් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි වික්‍රමසිරි පැවසීය.

වසා තැබෙන පාසල් අයත් අධ්‍යාපන කලාප:

  • ගාල්ල දිස්ත්‍රික්කය - ගාල්ල, උඩුගම
  • මාතර දිස්ත්‍රික්කය - මාතර, අකුරැස්ස හා දෙනියාය
  • හම්බන්තොට දිස්ත්‍රික්කය - තංගල්ල, වලස්මුල්ල, මුලටියන

අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිරීමෙන් පසු රෝගය පැතිරීයාම පාලනය කිරීම සඳහා ඉහත කී ක්‍රියාමාර්ගය ගත් බවය.

දකුණු පළාතේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන පාසල්වල දරුවන්ගේ පැමිණීමේ යම් අඩුවක් දක්නට ඇති බවද අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption රෝගී ලක්ෂණ ඇත්නම් මුඛවාඩම් පළඳින්න - වෛද්‍ය උපදෙස්

මේ අතර දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසන පරිදි ඉහත කී ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළඳුනු රෝගීන් 800 ක් පමණ දකුණු පළාතේ රෝහල් තුළ නේවාසික ප්‍රතිකාර ලබා තිබේ.

තවත් 350 දෙනෙකු මේ වනවිටත් රෝහල් තුළ නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

"මේ තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට වගේම මහජනතාවටත් විශාල කාර්යභාරයක් සිදු කළ හැකියි, සෙනග ගැවසෙන ස්ථානවල ගැවසීමෙන් වැළකී සිටීමෙන් සහ රෝගී ලක්ෂණ ඇති අය රාජකාරී ස්ථාන වෙත නොයා විවේක ගැනීමෙන් මේ තත්ත්වය පාලනය කර ගත හැකියි," යනුවෙන් වෛද්‍ය ජී විජේසූරිය පැවසීය.

ඉහත කී ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය කුමක්දැයි යන්න මේ වනවිට සොයා ගෙන ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

වෙනත් පුවත් :