ගංවතුර සහ නාය යාම්: එක්ලක්ෂ විසිදහසකට වැඩි පිරිසක් පීඩාවට

Image copyright Getty Images

දිස්ත්‍රික්ක දාහතරක පවතින ගංවතුර සහ නාය යෑම් ඇතුළු අහයපත් කාලගුණය හමුවේ එක් ලක්ෂ විසි හතරදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.

ඉන්, 56 000 කට ආසන්න සංඛ්‍යවක් ආරක්‍ෂිත කඳවුරු 246 රඳවා ඇති බවත් ඔහු කියා සිටිටියේය.

කැළණි ගඟේ ජල මට්ටම පහත යමින් පැවතුන ද කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පවතින අවදානම් සහගත තත්ත්වය තවමත් එලෙසම පවතින බව කී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා, කළුතර ප්‍රදේශයේ කළු ගඟ දෙපස සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව සඳහන් කළේය.

රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ එස්. එච්. මුදිත මංජුල බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අයහපත් කාලගුණය හමුවේ එම දිස්ත්‍රික්කයේ පවුල් 7 202 අයත් 28 328 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවය.

පීඩාවට පත් පවුල් 179 රැඳවුම් කඳවුරු 30 ක රඳවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

Image copyright Getty Images

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි, බද්දේගම සහ දූනමලේ යන ප්‍රදේශවලදී පිළිවෙලින් ගිං ගඟේ සහ අත්තනගලු ඔයේ ජල මට්ටමෙහි වැඩිවීමක් දක්නට ඇත.

වැසිසහිත කාලගුණය බ්‍රහස්පතින්දා (මැයි 24) දිනයේදීත් එලෙසම පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහාය ලැබෙන අතර අවතැන් වූවන් බේරා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට බෝට්ටු යොදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර මන්නාරම සිට පුත්තලම දක්වාත් කොළඹ, ගාල්ල සහ පොතුවිල් මුහුදු තීරයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 - 70 දක්වා වර්ධය විය හැකි බැවින්, ධීවරයන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවත් එම මධ්‍යස්ථානය පවසයි.

නාය යාම් සම්බන්ධයෙන් රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා බදාදා (මැයි 23) රතු නිවේදනයක් නිකුත් කර තිබු අතර, නාය යාම්, බැමි කඩා වැටීම් සහ ගල් පෙරලීම් එම ප්‍රදේශවලින් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නාය යාමේ අවදානම හමුවේ එම දිස්ත්‍රික්කයට අයත් පවුල් 200 ක් පමණ කඳවුරු 13 ක රඳවා ඇති බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර