ගංවතුර සහ නාය යාම්: "දූනමලේ ජල මට්ටම ඉහළ යනවා, විමසිල්ලෙන් පසුවන්න"

Image copyright Getty Images
Image caption මල්වාන ප්‍රදේශයේ බදාදා (මැයි 23) පැවති ගංවතුර තත්වය

අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එබැවින් ජාඇල, කටාන පහළ ප්‍රදේශවල සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවට එම මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

එමෙන්ම කළු ගඟේ ජල මට්ටම එලෙසම පවතින බැවින් එහි දෙපස සිටින ජනතාව තවදුරටත් ආරක්‍ෂිත ස්ථාන තුළ රැඳී සිටිය යුතු බවත් එම මධ්‍යස්ථානය පවසයි.

කුකුලේගම, උඩවලව, ලක්ෂපාන, දැදුරු ඔය, ඉහළ කොත්මලේ, රාජාංගනය, තබ්බෝව යන ජලාශ සහ බතලේගොඩ වැවෙහි වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහළ බිම් ප්‍රදේශවල සිටින ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Image copyright Department of Meteorology
Image caption ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා උදෑසන 8:30 දක්වා ගතවගිය පැය 24 ඇතුළත පතිත වූ වර්ෂාපතනය (මිලිමීටර)

එම මධ්‍යස්ථානය පවසන පරිදි මේවන විට පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව 138,000 ඉක්මවා ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ ඉහත කී පීඩාවට පත් පිරිසෙන් පනස් තුන්දහසක් පමණ තාවකාලික කඳවුරුවල රැඳී සිටින බවය.

නාය යාම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති 'රතු නිවේදන' තවමත් වලංගු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මීට ඉහතදී සඳහන් කළේය.

ආරක්‍ෂිත ස්ථාන කරා වහා ඉවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම ප්‍රදේශ තුළ වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නාය යාමේ අවදානම හේතුවෙන් රතු නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ:

  • රත්නපුර - රත්නපුර, ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ
  • කෑගල්ල - බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, අරනායක, මාවනැල්ල
  • නුවරඑළිය - අඹගමුව, කොත්මලේ, නුවරඑළිය
  • කළුතර -පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට
  • ගාල්ල - ඇල්පිටිය, ගාල්ල, කඩවත්සතර, නාගොඩ, නෙළුව, තවලම

බ්‍රහස්පතින්දා (මැයි 24) ඉහත කී ප්‍රදේශ වෙත මිලිමීටර 150 අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් නාය යාමේ පූර්ව ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර දිවයිනේ බොහෝ පළාත් සහ ප්‍රදේශ වෙත සිකුරාදා (මැයි 25) වැසි ඇදහැලෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ යන පළාත් සහ යාපනය, මන්නාරම, මුලතිව්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වෙත වැසි වැටීමට නියමිතය.

කැළණි ගඟේ ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයේ පැවතියත්, කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තවමත් ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවී පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Image caption සංරක්ෂිත ඡායාරූපයක්

ගිං ගගේ බද්දේගම, නිල්වලා ගඟේ පානදුව සහ අත්තනගලු ඔයේ දූනමලේ යන ප්‍රදේශ තවමත් අවදානම් සහගත මට්ටමේ පවතින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන පරිදී අහයපත් කාලගුණය හමුවේ මරණයට පත් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇත. එක්ලක්ෂ විසි හත්දහසකට අධික පිරිසක් පීඩාවට පත් වී සිටිති.

Image caption සංරක්ෂිත ඡායාරූපයක්

මේ අතර අධික වර්ෂාව හමුවේ ජලාශ ගණනාවක වාන් දොරටු විවෘත කර ඇති බැවින් විමසිල්ලෙන් පසුවන ලෙස පහළ ප්‍රදේශ අවට සිටින ජනතාවගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

වාන් දොරටු විවෘත කර ඇති ජලාශ:

  • කුකුලේගම
  • උඩවලව
  • ලක්ෂපාන
  • දැදුරු ඔය
  • ඉහළ කොත්මලේ
  • රාජාංගනය
  • තබ්බෝව
  • බතලේගොඩ

මේ අතර, මන්නාරම - පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් දක්වා මුහුදු තීරයේ දැඩි සුළං ඇති විය හැකි බැවින් අවදානයෙන් සිටින ලෙස ආපදා කලමනාකර මධ්‍යස්ථානය ධීවරයන්ගෙන් සහ නාවික කණ්ඩායම්වලින් ඉල්ලා සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර