ගංවතුර සහ නාය යාම්: වැසි සහිත කාලගුණය "තවදුරටත්"

Image caption පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුර

අහයපත් කාලගුණය හමුවේ මරණයට පත් සංඛ්‍යාව දහනවය දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බවත් එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.

අත්තනගලු ඔයේ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ගම්පහ, කටාන සහ ඒ අවට වෙසෙන ජනතාව පීඩාවට පත්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිල වාර්තාවලට අනුව රට පුරා පීඩාවට පත් වූවන් අතරින් පනස් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් තාවකාලික කඳවුරු තුළ රඳවා තබා ඇත.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නාය යාම් සහ හදිසි ගංවතුර තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කඳුකර පෙදෙස් සහ ගංගා දෙපස වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.

පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුර

මේ අතර සතියක් තුළ දෙවන වතාවටත් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ.

මාදම්පේ, මහවැව, නාත්තන්ඩිය, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව යන ප්‍රදේශ වල පුද්ගලයන් පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් ආපදාවට ලක්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේසහකාර අධ්‍යක්ෂ ඒ .එම .අලහකෝන් පැවසිය .

සෙනසුරාදා පෙරවරුවේ හලාවත දෙසට ගමන් කරමින් සිටි මන්නාරම රදගුරුතුමා ඇතුළු කතෝලික පියතුමන් 50 කට අසන්න පිරිසක් ද ගංවතුරට කොටුවූහ. පසුව ඔවුන් බර වාහන යොදා ගනිමින් හලාවත දක්වා රැගෙන යාමට කටයුතු කරන ලදි.

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ කොටුව සිටි පවුලක් බේරා ගැනීමට ගොස් සිකුරාදා අතුරුදන් වූ පොලිස් නිලධාරියා ගැන මෙතෙක් තොරතුරක් හෙළි වී නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර