ගංවතුර සහ නාය යාම්: "කඳවුරු තුළම රැඳී සිටින්න"

Image copyright Getty Images

අයහපත් කාලගුණය හමුවේ මරණයට පත් සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දියේ ගිලීම්, අකුණු ගැසීම් සහ ගස් අතු කඩා වැටීම් වැනි අනතුරු හේතුවෙන් ඉහත කී මරණ සිදුව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.

ගංවතුර නැරඹීමට යාම සහ පිහිනීමට යාමෙන් වැළකී සිටින ලෙසත් අකුණු ගැසීම් අවම කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ ගංවතුරට කොටුව සිටි පවුලක් බේරා ගැනීමට ගොස් සිකුරාදා අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ මළසිරුර ඉරිදා (මැයි 27) සොයා ගැනිණි.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව පනස් පන්දහසකට අධික සංඛ්‍යාවක් තාවකාලික කඳවුරු තුළ රඳවා ඇත.

කළු ගඟේ ස්ථාන කීපයක තවමත් ගංවතුර තත්ත්වය පැවතියත් කැලණි, නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම සාමාන්‍ය අතට පත්වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේය.

තවදුරටත් වැසි වැටීමට ඉඩ ඇති බැවින් කඳවුරු තුළම රැඳී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නාය යාම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති රතු නිවේදන තවමත් වලංගු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන පරිදි නාය යාමේ අවදානම සහිත රතු නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක:

  • රත්නපුර - රත්නපුර,ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ
  • කෑගල්ල - බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, අරනායක, මාවනැල්ල
  • නුවරඑළිය - අඹගමුව, කොත්මලේ, නුවරඑළිය
  • කළුතර -පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල,ඉංගිරිය, වලල්ලාවිට
  • ගාල්ල - ඇල්පිටිය, ගාල්ල, කඩවත්සතර, නාගොඩ, නෙළුව, තවලම

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර