ගංවතුර: නාය යාමේ පූර්ව ලක්ෂණ සහ සෞඛ්‍ය ගැටලු ගැන 'විමසිලිමත් වන්න'

අහයපත් කාලගුණය හමුවේ විසි හතර දෙනෙකු මරණයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ හැත්තෑ දහසකට ආසන්න පිරිසක් කඳවුරු තුළ රඳවා සිටින බවය.

ගංවතුර, නාය යාම් ඇතුළු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක විස්සක එක්ලක්ෂ හැත්තෑ දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටි බව ද ඔහු සඳහන් කළේය.

ආපදා තත්ත්වය කෙමෙන් අඩු වෙමින් පවතින බව කී ප්‍රදීප් කොඩිප්පිලි සහන ලබා දීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන බව පැවසීය.

"ඊයේ වනවිට කඳවුරුවල සිටි හැත්තෑ පන්දහසක පිරිස හැත්තෑ දහසක් දක්වා අඩුවීමක් පෙන්නුම් කරනවා."

ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය නිකුත් කර ඇති විමසිලිමත් වීමේ නිවේදනයට අනුව අවදානයෙන් පසු වන ලෙස කළුතර, ගාල්ල, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, මාතලේ සහ නුවර යන දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

"දින කීපයක් ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් පස සංතෘප්ත වී ඇති බැවින් නාය යාමේ පූර්ව ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටින්න."

නාය යෑම්: පූර්ව ලක්ෂණ මොනවාද?

  • පොළොවේ ඇති වන ඉරි තැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළොවේ ගිලා බැසීම්
  • ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි සහ දුරකථන කණු සහ වැටවල් සඳහා යොදා ඇති කණු
  • ගොඩනැගිලිවල ගෙබිම සහ බිත්ති මත ඇති වන පිපිරුම් සහ ඒවායේ ක්‍රමික වර්ධනය වීම්
  • එකවර ජල උල්පත් ඇති වීම හෝ පෙර පැවති ජල උල්පත් බොර වීම, අවහිර වීම හෝ නැති වී යාම

ආරක්‍ෂිත ස්ථානවල නොසිටියත් සහන ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Image caption "සෞඛ්‍ය ගැටලු ගැන විමසිලිමත් වන්න"

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ රෝග පැතිරීමට ඇති ඉඩ අවස්ථාව වැඩි බැවින් රෝගවලින් ආරක්ෂා වීම ඉතා වැදගත් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය පබා පළිහවඩන පෙන්වා දෙන්නීය.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව සඳහන් කළ ඇය, පවතින වැසි තත්ත්වය හේතුවෙන් ආහාර ගැනීමේ දී පිසූ ආහාර පමණක් ගැනීමට සැලකිලිමත් වන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

තවදුරටත් කරුණු දැක් වූ වෛද්‍ය පබා පළිහවඩන:

  • පිසූ ආහාරයන් පරණ වීමේ දී බැක්ටීරියා ක්‍රියාත්මක වීමට ඉඩ අවස්ථා ඇති බැවින් ආහාර පිස හැකි ඉක්මනින් භාවිතයට ගන්නා ලෙස
  • අවතැන්වූ ජනතාව වෙනුවෙන් ආහාර පිසීමේ දී මෙන් ම ආහාර ඇසුරුම් ක්‍රියාවලියේ දී සෞඛ්‍ය සනීපාරක්ෂාව පිළිබඳ ඉතා සැලකිලිමත් වන ලෙස
  • ජල මූලාශ්‍රයන් අපවිත්‍රව පවතින මේ අවස්ථාවේ දී පානීය මෙන් ම ජල පරිහරණ කටයුතුවලදී ඉතා සැලකිලිමත් වන ලෙස
  • ළිං පිරිසිදු කිරීමේ දී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කරගැනීමට කටයුතු කරන ලෙස
  • නිවෙස් මෙන්ම වෙළඳ ව්‍යාපාරික ස්ථානවල පැවැති ජලය බැස යාමෙන් අනතුරුව හොඳින් පිරිසිදු කරගන්නා ලෙස
  • ප්ලාස්ටික් බෝතල් ඇතුළු කැලි කසල බැහැර කිරීමේ දී නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස
  • තුවාල ආවරණය කිරීම මෙන්ම තම දෙපාවල සීරුමක් හෝ ඇත්නම් ජලයට නොබසින ලෙස

ජනතාවගෙන් ඉල්ලා සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

Image caption ගංවතුරෙන් තෙත් බරිත වූ පොත් වේලන දරුවෙක්

ඇඟපත වේදනාව, ඇස් රතුවීම, මුත්‍රා පිටවීම අඩුවීම, ඇස්කහ පැහැ වීම හෝ තද උණ පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන මෙන් ඉල්ලා සිටි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය, ප්‍රසූතිය ආසන්නයේ පසුවන ගැබිණි මව්වරුන් අවතැන් කඳවුරුවල සිටින්නේ නම් ඔවුන් රෝහල් වෙත යොමු කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

තවත් කියවන්න: