ඉන්ෆ්ලුවෙන්සා: රෝග ලක්ෂණ ඇත්නම් "විවේක ගන්න"

Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් වාර්තා විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඕනෑම වසරක මැයි-ජූලි, දෙසැම්බර්-ජනවාරි දක්වා කාලවලදී ඉහත කී වෛරසය පැතිර යාම සාමාන්‍ය තත්ත්වයක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සරත් අමුණුගම පෙන්වා දෙයි.

දකුණු පළාතේ මෙන්ම බස්නාහිර පළාත තුළත් කිසියම් ප්‍රමාණයක රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පෙන්වා දෙන වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස වැනි රෝගී තත්ත්වයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම විවේක ගැනීම ද අත්‍යාවශ්‍ය බව සඳහන් කළේය.

"එවන් දරුවන් පාසල් නොයවා සිටීම දෙමාපියන්ගේත් යුතුකමක්" යැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසු බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දිවයින පුරා සෑම රෝහලකම අදාළ වෛරසය සඳහා ප්‍රමාණවත් ඖෂධ පවතින බව කී වෛද්‍යවරයා, සෑම රෝහලකම ශ්වසන රෝගීන් සඳහා වෙනම කොටසක් වෙන් කිරීමට චක්‍රලේඛයක් මගින් දැනුම්දීමට කටයුතු කරන බව සඳහන් කළේය.

දරුවන්, වැඩිහිටියන්, ගර්භනී මව්වරුන් මෙන්ම දීර්ඝ කාලීන වශයෙන් විවිධ රෝගී තත්ත්වයන්ගෙන් පසුවන්නන් ඒ පිළිබඳ ව වඩාත් සැලකිලිමත් විය යුතු බවත් ඔහු පැවසීය.

දකුණට ගෙන ආවේ විදේශිකයෙක්ද?

Image copyright Getty Images
Image caption රෝගී ලක්ෂණ ඇත්නම් මුඛවාඩම් පළඳින්න - වෛද්‍ය උපදෙස්

මේ අතර දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉහත කී වෛරසය ශරීර ගතවීම හේතුවෙන් රෝහල්ගත වන වැඩිහිටියන්ගේ අඩුවක් දක්නට ඇති බවය.

"තවමත් ළමා වාට්ටුවලට රෝගීන් ඇතුළුවන තත්ත්වයක් අපිට දක්නට ලැබෙනවා" කී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රෝගී තත්ත්වය සහ එහි ලක්ෂණ පිළිබඳ දෙමාපියන් දැනුවත් කර ඇති බව සඳහන් කළේය.

දකුණු පළාතේ පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සඳුදා (මැයි 27) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවති බව කී ඔහු, බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කීප දෙනෙකු දකුණු පළාතට අනයුක්ත කිරීමට තීන්දු වූ බවත් පැවසීය.

Image copyright President.gov.lk
Image caption ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාව

මේ අතර, ඉහත කී වෛරසය විදේශිකයෙකු මාර්ගයෙන් දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති බව සිය මතය වී ඇතැයි රජයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව පසුගියදා මධ්‍ය හමුවක් කැඳවමින් නිවේදනය කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ ඒ බව සනාථ කිරීම සඳහා විද්‍යාත්මක සාධක ඉදිරිපත් වී නොමැති බවය.

"එහෙමනම්, ඒක සනාථ කරන්න ජානමය පරීක්ෂණයක් කර පෙන්වන්න ඕන. එහෙම කරුණු සනාථ කිරීමක් නැහැ, එක එක්කෙනා මත පළ කිරීමක් තමයි සිද්ධ වෙන්නේ, ඒ නිසා විදේශිකයෙකුගෙන් ආවා කියන කාරණයේ කිසිම විද්‍යත්මක සත්‍යතාවක් නැහැ,"

දකුණු පළාතට බලපෑ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් පෙර පාසල් සහ පාසල්වල ප්‍රාථමික අංශ දින කීපයක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීහු පසුගියදා පියවර ගත්හ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර