ශ්‍රී ලංකාවේ කාලගුණය: "තවදුරටත් විමසිල්ලෙන් පසුවන්න"

Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

ඉදිරි දින දෙක තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ තුළ තද සුළං තත්ත්වයක් පැවතිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් "නිවෙස් වටා ඇති ගස් අතු කපා දමා සුරක්ෂිත කිරීම ඉතා වැදගත් බව" ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 - 70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"මේ හේතුවෙන් ධීවර, නාවික ප්‍රජාවන් විමසිලිමත් වන්න, මුහුද රළු විය හැකි බැවින් අවධානයෙන් පසුවන්න" ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා සිටී.

Image copyright SPL

නාය යාමේ ලක්ෂණ පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් පසුවන ලෙසත් ඔහු කඳුකර ප්‍රදේශ අවට සිටින ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කළුතර, ගාල්ල, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, මාතලේ සහ නුවර යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති විමසිලිමත් වීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ඔහු සඳහන් කළේය.

ගතව ගිය දෙදින තුළ කාලගුණයේ පැවැති සුභදායි තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශ තුළ ජලය බැසගොස් ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ සමග පීඩාවට පත්ව සිටි ඇතැම් පිරිස් කඳවුරුවලින් පිටව ගොස් සිය නිවාස සහ වෙළඳසැල් පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටින බව එහි සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ඒ සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක, සෞඛ්‍ය සේවකයන් සහ සහන නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහාය ද ලැබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

බස්නාහිර, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාතේ ප්‍රදේශ තුළ අඟහරුවාදා (මැයි 29) සවස වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර