"එළ හරකා - මී හරකා ආර්ථික ප්‍රතිපත්ති" සහ ඩොලරයට සාපේක්ෂව පහළ වැටෙන රුපියල

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය,

රුපියල කොයිබටද ?

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තාගත අගයකින් පහත වැටී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව බ්‍රහස්පතින්දා නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක් සඳහා දැන් රුපියල් 160 ක් ගෙවිය යුතුය.

'මේ වසර අග වනවිට ශ්‍රී ලංකා රුපියලේ තත්වය ඩොලරයකට සාපේක්ෂව රු. 160 ත් 165 ත් අතර මට්ටමකට පහත වැටෙන්නට ඉඩ තිබෙන බව' ආර්ථික විශ්ලේෂකයෙක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පසුගිය පෙබරවාරි මාසයේදී බීබීසී සිංහල සේවය සමග පැවසීය.

මේ වසර මැද වන විටම ඒ තත්ත්වය උදාවන පෙර නිමිති දැන් පහළවී තිබේ.

බීබීසී සිංහල සේවය සමග බ්‍රහස්පතින්දා (ජුනි 07) සාකච්ඡාවකට එක්වෙමින් මේ තත්වයට හේතු පැහැදිලි කළ ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන කියා සිටියේ, "දැන් පවතින එළ හරකා - මී හරකා ආර්ථික ප්‍රතිපත්ති" හේතුවෙන් රට මේ තත්වයට පත්ව ඇති බවය.

"පක්ෂ දෙකකින් සමන්විත වත්මන් රජය එකම ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම 2017 ජුනි මාසයේදී නිකුත් කළ '2025 දැක්ම' අනුව යමින් ආර්ථිකය මෙහෙයවන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති 'ජාතික ආර්ථික සභාව' මගින් වෙනම ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් නිකුත් කළ බව මාධ්‍ය වාර්තා කළා," ඔහු පැවසීය.

එහෙත්, මේ ප්‍රතිපත්ති මාලා එකිනෙකට ගැලපෙන්නේ ද, නොගැලපෙන්නේ ද යන්නවත් කිසිවෙකුත් නොදන්නා බව ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, BBC/CB-SL

කෙසේ වුවත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ තිබෙන ව්‍යුහාත්මක දුර්වලතාවක් හේතුවෙන් දිනෙන් දිනම මෙසේ රුපියල අවප්‍රමාණවන බව ආචාර්ය විජේවර්ධන පවසයි.

"ශ්‍රී ලංකාව 2008 පමණ සිට අපනයන අංශය කෙරෙහි අවධානය යොමු නොකොට දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කළා. අපනයන ඇමෙරිකානු ඩොලර්වලින් ගත්විට ඉහළ ගිය ලෙස පෙණුනත්, එය ශ්‍රී ලංකාවේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 2014 - 15 වනවිට 22% පමණ සිට 12% දක්වා අඩුවීමක් සිදුවුණා."

2014 - 2016 කාල සීමාව තුළ අපනයන සඳහා ලැබුණු ඇමෙරිකානු ඩොලර් අගයත් අඩුවී තිබේ. 2017 පමණක් නැවත වරක් අපනයන ආදායම සුළු වැඩිවීමක් සිදුවුනත්, සමස්ථ අපනයන ආදායම අඩුවෙමින් පවතින අතර ආනයන වියදම ශීඝ්‍රයෙන් ඉහළගොස් තිබේ.

"ඒ නිසා ආනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක් පමණ වුණා. එවිට අපනයන ආදායම ඩොලර් බිලියන 11 ක් පමණ තත්ත්වයකයි පැවතියේ. මේ නිසා ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන අතර වෙනස ඩොලර් බිලියන 9 ක් බවට පත්වුණා. මේ වසරේ පළමු මාස තුන ඇතුළතත අපනයන සුළු ප්‍රමාණයකින් වැඩිවී තිබුණත්, ආනයන ශීඝ්‍රයෙන් වැඩිවීම නිසා 2018 වර්ෂය තුළ වෙළඳ ගිණුමේ හිඟය ඩොලර් බිලියන 10 ක් ලෙස අනුමාන කරන්න පුළුවන්," ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන බීබීසී සිංහල සේවය සමග පැවසිය.

අපනයන සීමාසහිත මට්ටමක තිබෙන බැවින් මේ හිඟය පියවීමට සිදුවී ඇත්තේ මූලිකවම විදෙස් රැකියා නියුක්තිකයන්ගෙන් ලැබෙන මුදලිනි. නමුත් මෙසේ ලැබෙන මුදල් විවිධ කාල වලදී උච්ඡාවචනය වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

2014 - 2016 කාල සීමාව තුළ අපනයන සඳහා ලැබුණු ඇමෙරිකානු ඩොලර් අගය ද අඩුවී තිබේ

"උදාහරණයක් හැටියට සිංහල - දෙමළ අවුරුදු සමයේදී වැඩි මුදලක් ලංකාවට ගලා එනවා. නමුත්, අවුරුදු සමයේ රටට කළ ආනයනයන් සඳහා මුදල් ගෙවන්නේ අප්‍රේල් වලින් පසුව නිසා වෙළඳ හිඟය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙනවා."

මෙම හිඟය පියවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ සංචිත වෙළඳපොළට නිදහස් කිරීමෙන් නම් එම නිදහස් කිරීම ඉතා භයානක බව හිටපු නියෝජ්‍ය අධිපතිවරයා පැවසීය.

"මොකද, ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ සංචිත ගොඩනගාගෙන තිබෙන්නේ වෙළඳපොළ මිලදී අරගෙන නෙවෙයි, විදේශීය ණය මගින්."

මහ බැංකුව එසේ කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ සංචිත, විදේශ විනිමය, රුපියල රැකගැනීමට ඇති හැකියාව සහ ණය ගෙවීමේ හැකියාව යන සියල්ල අහිමිවේ. ඒ අනුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් වී දැඩි දුෂ්කරතාවකට පත්වනු ඇත.

"මෙම හේතු නිසා ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳපොළට මැදිහත්වන්නේ ඉතා සූක්ෂ්ම අයුරින් සහ ප්‍රඥාගෝචර අන්දමින්, ඉතා සීමිත ලෙසයි. මේ සීමිත මැදිහත්වීම හේතුවෙන් රුපියලේ අගය ස්ථාවරව පවතිනවා, නමුත් පසුගිය සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳපොළට මැදිහත් නොවුන නිසා රුපියල අවප්‍රමාණ වුණා," ආචාර්ය විජේවර්ධන බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් පැවසීය.

ඒ නිසා ශ්‍රී ලංකා අර්ථිකයේ ඇතිවී තිබෙන මෙම ව්‍යහාත්මක ගැටලුවට විසඳුම් නොසොයා විදේශීය ණය මගින් රුපියලේ වටිනාකම ස්ථාවර කිරීමට කටයුතු කළහොත් ශ්‍රී ලංකාව, ආර්ජන්ටිනාව හෝ බ්‍රසීලය හෝ මෙක්සිකෝව වැනි උග්‍ර ණය බරකට යටවී මුළුමනින් ම බංකොළොත් ආර්ථිකයක් බවට පත්වීමට ඉඩ තිබෙන බවට ආචාර්ය විජේවර්ධන අනතුරු අඟවයි.

මෙයින් ගැලවීමට අවශ්‍යයෙන්ම වහාම සිදුකළයුතු කාර්යයන් ලෙස:

  • ක්ෂණික ප්‍රතිඵල ලබාගත හැකි ලෙස ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම
  • ඉදිරි වසර එකහමාර තුළ වර්ධනය කළ යුතු අපනයන ක්ෂේත්‍ර කවරේදැයි හඳුනා ගැනීම
  • ඉදිරි දෙවසර තුළ වර්ධනය කළයුතු සේවා සැපයීම් කවරේදැයි හඳුනා ගැනීම

කළයුතු බව ආර්ථික විශේෂඥයා පෙන්වා දෙයි.

විශේෂයෙන් සේවා අංශය සැළකිල්ලට ගැනීමේදී පරිගණක තාක්ෂණය හා බැඳුණු අපනයනය කළ හැකි සේවාවන් ශීඝ්‍රයෙන් ඉහළ යැවීමට කටයුතු කළ හැකි බවට ආචාර්ය විජේවර්ධන යෝජනා කරයි.