බොදු බල සේනා ඥානසාර හිමි: 'නිදොස් කිරීම නීති විරෝධීයි'

ඥානසාර හිමි Image copyright Getty Images
Image caption මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක්

2012 දී මාලඹේ ප්‍රදේශයේ පිහිටි කල්වරි නමැති කතෝලික යාඥා මධ්‍යස්ථානයකට පහර දී අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට එරෙහි අභියාචනය නොවැම්බර් මස 23 වෙනි දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් එම තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ තිබෙන අභියාචනය දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබිණ.

නීතිපතිවරයා සිය අභියාචනයෙන් පෙන්වා දී සිටින්නේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බවය.

මේ හේතුවෙන් මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුව අහෝසි කොට එම විත්තිකරුවන් වරදකරුවන් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා සිය අභියාචනයෙන් ඉල්ලා සිටියි.

Image copyright Getty Images
Image caption සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කළ බවට ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණ

මේ අතර අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන දඬුවම පිළිබඳ තීන්දුව හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට කිරීමට නියමිතය.

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කළ බවට ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි.

තවත් කියවන්න:

එම චෝදනාවලට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව තීන්දු කළ අධිකරණය ජුනි 14 වෙනි දින එහිමියන්ට දඬුවම් නියම කරන බව පසුගිය මැයි 24 වැනි දින ප්‍රකාශ කළේය.

දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු බව අධිකරණයේ නිගමණය වී තිබේ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන්ට එරෙහිව අධිකරණ කීපයකම චෝදනා විභාග වූ නමුත්, එහිමියන් චෝදනාවකට වරදකරු බව තීන්දු කෙරුණ ප්‍රථම අවස්ථාව මෙය වේ.

හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග විසින් බ්‍රහස්පතින්දා උදෑසන ඥානසාර හිමියන්ට නියම කරන දඬුවම ප්‍රකාශ කරනු ලැබීමට නියමිතය. ඒ වෙනුවෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

තවත් ලිපි: