ඥානසාර හිමිට බරපතල වැඩ සහිත සිර දඬුවම්

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට චෝදනා දෙකකට අදාළව මාස 6 බැගින් එකවර ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් අද (ජුනි 14) නියම කෙරිණි.

දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු බව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නිගමනය කළේය.

එක් වරදකට රු. 1 500.00 බැගින් රු. 3 000.00 ක දඩයක් ගෙවීමට ද අධිකරණය අද නියෝග කළේය.

අගතියට පත් සන්ධ්‍යා එක්නැලිගොඩට රු. 50 000.00 වන්දියක් ගෙවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගැනීමට ද නියම කළේය. යම් හෙයකින් එම දඩය ද නොගෙවන්නේ නම්, මාස 3 ක ලිහිල් සිර දඬුවමකට යටත්වීමට සිදුවන බවද හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමග, විත්ති කූඩුවේ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, තමන්ට ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් අවශ්‍ය බව සඳහන් කරමින් "අධිකරණය විතර ද පැවතිය යුත්තේ" යනුවෙන් පැවසුහ.

එවැනි ප්‍රකාශයක් කිරීමට අවසර ලබාදිය නොහැකි බව පැවසූ මහේස්ත්‍රාත්වරයා අවශ්‍ය නම් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ හැකි බව ප්‍රකාශ කළේය.

Image caption තරමක නොසන්සුන්කාරී තත්ත්වයක්

ඥානසාර හිමියන් බන්ධනාගාර බස් රථයට රැගෙනයන අවස්ථාවේ ඒ අසල බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයන් ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් රැස්ව සිටි අතර එහිදී තරමක නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනිණි.

එම අවස්ථාවේ භික්ෂුන් වහන්සේ කීපනමක් සන්ධ්‍යා එක්නැලිගොඩ සමග පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට චෝදනාත්මක ස්වරයෙන් අදහස් දක්වනු දැකගත හැකිවිය.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර