බොදු බල සේනා ඥානසාර හිමි: චීවරය ඉවත්කිරීම සහ ශ්‍රී ලංකාවේ භික්ෂු සම්ප්‍රදාය

Image copyright Getty Images

හෝමාගම අධිකරණ භූමියේ දී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමවීමෙන් අනතුරුව බන්ධනාගාරයේදී එහිමියන්ගේ චීවරය ගලවා සාමාන්‍ය සිරකරුවන්ගේ ඇඳුම ලබාදීම පිළිබඳ ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.

විශේෂයෙන්ම බන්ධනාගාර බලධාරීන් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් නොකළ යුතු බවට ඇතැම් භික්ෂූන් වහන්සේ අදහස් පළ කර තිබිණ.

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන්ට බලයක් නොමැති අතර, ඒ බලය තිබෙන්නේ මහානායක හිමිවරුන්ට හෝ භික්ෂු නායකත්වයට පමණක් බව එසේ අදහස් දැක්වූ බොහෝ භික්ෂූන් වහන්සේගේ අදහස වී තිබෙන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් භික්ෂුන් වහන්සේ දරන ඒ මතය අනුමත කරයි.

"මම දැඩිව කියනවා හාමුදුරු කෙනෙකුට වෙනම නීතියක් තියෙන්න බෑ කියලා. මම කියන්නේ බෞද්ධ භික්ෂුවට තදින් නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා. මොකද තියෙන දැඩි විනය නීති නිසා," ජනාධිපති නීතිඥවරයා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වීම ආරම්භ කළේ එලෙසිනි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ "බෞද්ධ නීතිය" ප්‍රකාර "ස්වාමීන් වහන්සේට ජම්පරයක් ඇන්දවිය නොහැකි බව මගේ මතයයි" යනුවෙන් ඔහු කියා සිටියේ පැරණි නඩු තීන්දු දෙකක් පූර්වාදර්ශ ලෙස ගෙන හැර දක්වමිනි.

Image copyright Getty Images
Image caption ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්ජී පුංචිහේවා සහ නීතිඥ ජගත් ලියනාරච්චි

"මීට පෙර ස්වාමීන්වහන්සේ නමක් රියදුරු බලපත්‍රයක් ඉල්ලා සිටි අවස්ථාවේදී ස්වාමීන් වහන්සේට බලපාන නීතිය අපේ රටේ අනෙකුත් පොදු ජනයාට බලපාන නීතියට වඩා වෙනස් කියා විනිසුරුවරයා පැහැදිළිව සඳහන් කළා. ඒ අනුව ජම්පරය අන්දනවා කියන සිද්ධියෙදි මා වරදක් දකිනවා. ඒ තීන්දු අනුසාරයෙන් උපකල්පනය කළොත්, භික්ෂූන් වහන්සේගේ සිවුර ගැලවීමට හැකියාව ඇත්තේ අදාළ නිකායට පමණයි."

ඒ අනුව ශ්‍රී ලංකාවේ නීතිය සහ සංස්කෘතිය අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේට "සලකන ආකාරය අතර වෙනසක්" පවතින බවට කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් තර්ක කරයි.

එහෙත්, මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥ සහ තොරතුරු කොමිසමේ කොමසාරිස්වරයෙකුවන එස්ජී පුංචිහේවා එම තර්කය තරයේ බැහැර කරයි.

"දැං ඔය හාමුදුරුවරු කියන්නෙ චීවරය ගලවන්න බෑ, එක්කෝ සංඝ සභාවෙන් තීරණයක් ගන්න ඕන කියල, නමුත් එහෙම එකක් දණ්ඩ නීති සංග්‍රහයෙ හෝ මේ රටේ නීතියේ නැහැ," යනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්ජී පුංචිහේවා බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය.

'පූර්වාදර්ශ දෙකක්'

"රටක නීතියක් තියෙනව නම් ඒක ප්‍රධානයි. ඒ නීතියට කවුරුත් යටත් වෙන්න ඕන. භික්ෂූන්ගේ චීවරය ගලවන්න බැහැ කියන එක භික්ෂූන් හදාගත් සම්මතයක්. නැතුව ඒක රටේ නීතියේ සම්මතයක් නෙවෙයි. ඒ නිසා එවැනි ප්‍රකාශ කිසිසේත් පිළිගන්න බැහැ."

වැඩිදුරටත් කරුණු දැක්වූ තොරතුරු කොමිසමේ කොමසාරිස්, නීතිඥ එස්ජී පුංචිහේවා, "වරදක් කළා නම්, සිරගෙට නියමවුනා නම් එහි ඇඳුම් අඳින්න ඕන. නියම කළ දඬුවම විඳින්න ඕන. ඒ අයට නිදහස් වෙන්න වෙන කිසිම හේතුවක් නැහැ," යනුවෙන් ද අවධාරණය කළේය.

තවත් කියවන්න:

ඒ පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය කියා සිටියේ ඥානසාර හිමියන් සිය චීවරය ඉවත්කොට සිරකරු ඇඳුමෙන් බන්ධනාගාරයේ ගතකරන බවය.

බන්ධනාගාරයේදී සිය චීවරය ඉවත්කළහොත් උපවාසයක නිරතවන බවට එහිමියන් තර්ජනය කළ බවට ඇතැම් මාධ්‍ය පළ කළ වාර්තා සත්‍යයෙන් තොර බවත් ඔහු පැවසීය.

"පැහැදිලි කරලා දුන්නම, උන්වහන්සේ ඒක තේරුම් අරගෙන ඇඳුම අඳින්න තීරණය කළා. කිසිම ආකාරයක විරෝධතාවක් හෝ අකමැත්තක් හෝ ප්‍රකාශ කළේ නැහැ," යනුවෙන් ද තුෂාර උපුල්දෙණිය පැවසීය.

"අධිකරණයකින් දඬුවම් කළ පුද්ගලයෙක් වුනහම අනිවාර්යයෙන්ම බන්ධනාගාර නීති රීතිවලට අනුකූල විය යුතු වෙනවා."

Image copyright Twitter
Image caption ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමට එරෙහිව කොළඹ කොටුවේ පැවති සත්‍යග්‍රහ ව්‍යාපාරයක්

භික්ෂූන් වහන්සේ සහ බන්ධනාගාර 'ජම්පරය' සම්බන්ධ විවාදය පිළිබඳ විමසූ අවස්ථාවේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, නීතිඥ ජගත් ලියනාරච්චි කියා සිටියේ බන්ධනාගාර බලධාරීන් කටයුතු කළ යුතුව තිබෙන්නේ ආගමික නීති හෝ සංස්කෘතියට අදාළව නොව බන්ධනාගාර ආඥා පනතේ විධිවිධාන සහ රෙගුලාසිවලට අනුකූලව බවය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන පුද්ගලයෙකුට තමන් කැමති ඇඳුමක් පැළඳීමේ අයිතිය තිබෙන නමුත් දඬුවම් ලැබූ සිරකරුවෙකුගේ ඇඳුම තීරණය කරනු ලබන්නේ බන්ධනාගාර බලධාරීන් විසින් බව නීතිඥ ජගත් ලියනාරච්චි අවධාරණය කළේය.

"එතකොට ඒ සිරකරුට නමකට වඩා අංකයක් තියෙන්නේ. ඒ අංකය සහිත ඇඳුමක් ඔහුට දෙනවා. එතකොට ඒ ඇඳුම මොකක්ද කියන එක බන්ධනාගාර නීතිවල සඳහන් වෙනවා."

වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු "ඒ කිසිම තැනක ව්‍යතිරේකයක් සඳහන් වෙලා නෑ, ඒ කියන්නේ පූජ්‍ය පක්ෂය සඳහා හෝ වෙනත් කිසිවෙකුට වෙනත් විදියකට අඳින්න පුළුවන් කියල සඳහන් වෙලා නැහැ."

සිරකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන විට ඔවුන්ට වෙනත් ඇඳුමකින් සැරසීමට අවස්ථාව ලබා දිය යුතු යයි බන්ධනාගාර දෙපාර්තම්න්තුවේ නිත්‍ය නියෝග 550 යටතේ සඳහන් වේ.

Image copyright Getty Images

දණ්ඩ නීති සංග්‍රහයේ හෝ බන්ධනාගාර ආඥා පනතේ එවැන්නක් සඳහන් නොවුව ද ශ්‍රී ලංකාවේ අධිකරණය භික්ෂූන් වහන්සේට වෙනස ආකාරයෙන් සැලකීම පිළිබඳ වෙනත් පූර්වාදර්ශ ද පවතින බව ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මේ අතර පෙන්වා දුන්නේය.

"නාකුළුගමුවේ සුමණ ස්වාමීන්වහන්සේ නීතීඥයෙක් හැටියට දිවුරුමට ලෝගුව පැළඳ සිටිය යුතු බව තීරණය වුණා. නමුත් අදාල ස්වාමීන්වහන්සේ සිවුරට උඩින් ලෝගුව ඇඳීම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා සිවුර සහ අධිකරණ ක්‍රමය ඇතුළේ ගැටුමක් ලෙස මෙය අධිකරණයේ පවතිනවා."

එබැවින් භික්ෂූන් වහන්සේගේ චීවරය ගැලවීමට බන්ධනාගාර බලධාරීන්ට බලයක් නොමැති බව ඔහුගේ තර්කය වී තිබේ.

"වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය බිම දැමීම හේතුවෙන් වරදකරු කර යාපනය සිර ගෙදරට යොමු කිරීමෙන් පසුවවත් උන්වහන්සේගෙ සිවුර ගලවන්නෙ නෑ. ඒක තමයි මේ රටේ තිබුණු සම්ප්‍රදාය."

තවත් කියවන්න:

බුද්ධරක්ඛිත සහ සෝමාරාම හිමිවරු

එහෙත් ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්ජී පුංචිහේවා අවධාරණය කරන්නේ පූජකයෙකු හෝ භික්ෂූන් වහන්සේ නමක වූ පමණින් ඒ කිසිවකුටත් නීතිය අභිබවා යා නොහැකි බවය.

"කිසිම හාමුදුරුකෙනෙක් චීවරය ඇඳගෙන හිරේ ඉඳල නැහැ. උදාහරණයක් හැටියට බණ්ඩාරණායක ඝාතනයට බුද්ධරක්ඛිත සහ සෝමාරාම හාමුදුරුවරු සිරගෙට නියම වුනාට පස්සෙ සාමාන්‍ය සිරකාරයො හැටියට ඇඳල, සාමාන්‍ය සිරකාරයො හැටියට කූඩුවල සිටියා. එයාලට වෙන විශේෂ සැළකිල්ලක් තිබුණෙ නැහැ," ඔහු පෙන්වා දුන්නේය.

Image copyright Getty Images
Image caption භික්ෂුත්වය නිරූපණය කෙරෙන චීවරය ඉවත් කිරීමත් සමගම භික්ෂූන් වහන්සේ නමකට භික්ෂුත්වයත් අහිමිවීම සාමාන්‍ය සම්මතය වේ

වැඩිදුරටත් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිවේදී පුංචිහේවා, "නීතිය කාටත් සමාන වෙන්නෙ ඒක සියලුම මිනිස්සුන්ට වඩා ඉහළින් තියෙනව නම් පමණයි," යනුවෙන් අවධාරණය කළේය.

"මොන වරදක් කළත් එය වරදක්. හදාගත් නීතිවලින් පවතින නීතිය යටපත් කරන්න බැහැ. නීතියේ ආධිපත්‍යය කියන්නේ ඒකයි."

එම තර්කය පිළිබඳව පෙන්වා දුන් අවස්ථාවේ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් කියා සිටියේ පූර්වාදර්ශ නොමැති බැවින් මෙහිදී පැහැදිලි නීති ගැටුමක් පවතින බවය.

"මම මේ මතය ගෙනාවට මට වුනත් නිශ්චිතව ඒක හරි කියල කියන්න බෑ. මට වුනත් සිද්දවෙනවා එස්.ජී. පුංචිහේවා මහත්තය එක්ක එකඟ වෙන්න. මොකද භික්ෂුවට සහ ගිහියාට එහෙම වෙනසක් තියෙන්නත් බෑ. මට ගැටළුවකුත් තියෙනව, පරස්පරයක් තියෙනව මෙතන. ඒක මම පිළිගන්නවා."

Image copyright Getty Images

එබැවින් මේ තත්ත්වය යටතේ පැහැදිළිවම නීති ගැටලුවක් මතු වී තිබෙන බැවින් බන්ධනාගාර 'ජම්පරයෙන්' සැරසීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝ භික්ෂු නායකත්වය විරෝධය දක්වන්නේ නම් ඒ පිළිබඳ අධිකරණයේ ස්ථාවරය විමසීමට සිදුවන බව ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් සහ නීතිඥ ජගත් ලියනාරච්චි දෙදෙනාම බීබීසී සිංහල සේවයට පැවසූහ.

තමාගේ තර්කය, වැරදි කරන භික්ෂූන් වහන්සේ ආරක්ෂා කිරීම පිණිස නොවන බව යළිත් වරක් කියා සිටි ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, "දඬුවම නම් වැඩිවිය යුතුයි සාමාන්‍ය ගිහියෙකුටත් වඩා," යනුවෙන් ද අවධාරණය කළේය.

භික්ෂුන් වහන්සේ 15 නමක්

අධිකරණයකින් දඬුවම් ලබා 'ජම්පරයෙන්' සැරසී සිටින පළමු හෝ එකම බෞද්ධ භික්ෂුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නොවේ.

Image copyright facebook
Image caption ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමට එරෙහිව සමාජ ජාල ඔස්සේ පළවන අදහස්

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පෙන්වා දෙන අන්දමට භික්‍ෂූන් වහන්සේ 15 නමක් ඇතුළු ආගමික නායකයන් 18 දෙනෙකු මේ වනවිට ද බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටිති.

ඒ සියලු දෙනාම සිරකරුවන්ට ලබා දෙන බන්ධනාගාර ඇඳුමෙන් සැරසී සිටින බව පවසන ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ කිසිවෙකුගේ ආගමික ඇඳුම බන්ධනාගාර බලධාරීන් බලහත්කාරයෙන් ඉවත් නොකළ බවය.

"මොනම අවස්ථාවකවත් අපි බලෙන් ඉවත්කරනන යන්නේ නෑ. අපිට මේතාක් එහෙම ගැටලුවක් ඇතිවෙලත් නෑ. අධිකරණයෙන් දඬුවම් කළාම ඒගොල්ල අනිවාර්යයෙන්ම බන්ධනාගාර නීති පිළිපැදිය යුතු වෙනවා."

'ජම්පරය ඇඳීම සහ භික්ෂුත්වය'

භික්ෂුත්වය නිරූපණය කෙරෙන චීවරය ඉවත් කිරීමත් සමගම භික්ෂූන් වහන්සේ නමකට භික්ෂුත්වයත් අහිමි වීම සාමාන්‍ය සම්මතය බව බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ කළ විමසීමකදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර පෙන්වා දුන්නේය.

කෙසේ වුවත්, ඒ සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ අදාළ හිමියන් සම්බන්ධ නිකායේ මහානායක හිමිවරුන් විසින් බවත් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

"මොකද, ඒ ඒ නිකායවලට අදාළ කතිකාවත් තියෙනව. ඒ අනුව තමයි උන්වහන්සේලා ඒ ඒ තීන්දු - තීරණ ගන්නේ."

කුල දරුවෙකු පැවිදි කළ පසු සහ සාමනේර හිමි නමක උපසම්පදාව ලැබූ පසුව මහානායක හිමිවරුන්ගේ දැනුම්දීම ප්‍රකාර එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලැබේ.

ඒ ආකාරයටම, කිසියම් හිමි නමකගේ ශිෂ්‍යභාවය හෝ උපසම්පදාභාවය අහෝසි කළ පසුව ද එය මහානායක හිමිවරුන් තමන්ට දැනුම් දුන් පසුව ලියාපදිංචි කිරීම සිය දෙපාර්තමේන්තුවේ කාර්යභාරය බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර බීබීසී සිංහල සේවයට පැවසීය.

Image copyright Twitter
Image caption ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමට එරෙහිව කොළඹ කොටුවේ පැවති සත්‍යග්‍රහ ව්‍යාපාරයක්

ඔහු පෙන්වාදෙන පරිදි බන්ධනාගාරයේදී එසේ චීවරය ඉවත්කොට බන්ධනාගාර ඇඳුමෙන් සැරසුන භික්ෂුන් වහන්සේ නමකට යළිත් සසුන්ගතවීමට බාධාවක් නැතත්, එහිදී එතෙක් කළක් රැකගත් ශීලය සහ උපසම්පදාව එහිමියන්ට අහිමි වේ.

බන්ධනාගාරයේ දඬුවම් විඳින භික්ෂූන් වහන්සේ සහ පූජකවරුන් 18 දෙනාටම බන්ධනාගාර ආඥා පනතේ විධිවිධාන යටතේ සමාන ලෙස සැලකිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

"මිනී මැරුම්, ස්ත්‍රී දුෂණ, හොරකම්, කෝලාහල සහ රාජ්‍ය විරෝධි කටයුතු සිදු කිරීම පිළිබඳ වරද හේතුවෙන්" සිර දඬුවම් විඳින ඔවුන් සියලු දෙනා බන්ධනාගාර ආඥා පනතේ විධි විධානය යටතේ සිය දඬුවම් කාලය ගෙවමින් සිටින බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

මේ අතර අධිකරණය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උදය රොහාන් ද සිල්වා කියා සිටියේ, අධිකරණය මගින් වරදකරු වී සිර දඬුවම් නියම වූ පුද්ගලයකු බන්ධනාගාරය තුළදී ජම්පරය නැමැති සිර ඇඳුම ඇඳීම "සාමාන්‍යයෙන් සිදුවන්නක්" බවය.

"නමුත් යම් පුද්ගලයකු අධිකරණය මඟින් සිර දඬුවම් නියම කර, ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පසුව ඒ බව බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දුන් වහාම ජම්පරය ඇන්දවීම නවතිනවා. එසේ අභියාචනා ඉදිරිපත් කළ විත්තිකරුවෙකුට සාමාන්‍ය ඇඳුමෙන් බන්ධනාගාරය තුළ සිටින්න පුළුවන්," ඔහු පැවසීය.

එබැවින් ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම වූ වහාම ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර එම අභියාචනය පිළිබඳ නිවේදනය බන්ධනාගාර අධිකාරිවරයා වෙත යොමුකර තිබුණේ නම් චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතු නොවනු ඇතැයි ද නීතිඥ සංගමයේ සභාපතිවරයා පැවසීය.