"හිට්ලර් වගේ වීම" ගැන ජනපති: "ඒකාධිපතියෙකුගේ ස්වරූපය ජනතාවට දැනිලා තිබුණා"

Sri Lankan President Image copyright PMD

ඒකාධිපති පාලනයකට හා ආඥාදායකත්වයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වුණු සාංඝික දානයකදී අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් කළ අනුශාසනය පිළිබඳ ප්‍රතිචාරය පළ කරමිනි.

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපති ලෙසින් තේරී පත්වුවහොත් "හිට්ලර් කෙනෙක් වෙලා හරි" රටේ නිසි පාලනයක් පවත්වාගෙන යන මෙන් අනුනාහිමියන් අනුශාසනා කර තිබුණි.

"මම දැක්කා මාධ්‍ය තුළින් ඊයේ ස්වාමීන් වහන්සේලා කීපනමක් කියලා තිබෙනවා අපේ රටට ඒකාධිපති පාලකයෙක් ඕන කියලා. අපේ හාමුදුරුවනේ සමාවෙන්න, මම බෞද්ධයෙක් විදියට මහා සංඝරත්නයට ඉතාමත් ගරු කරනවා. හැබැයි ඔබ වහන්සේලා යම් තැනක අනුශාසනා කරනවා නම්, මේ රටට ඒකාධිපතියෙක් ඕනේ කියලා, එතැන තමයි අපි වරද්ද ගත්ත තැන," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"ඒකාධිපතියෙකුගේ ස්වරූපය මේ රටේ ජනතාවට යම් ප්‍රමාණයකින් දැනිලා තිබුණා 2015 ට කලින්. දැන් ඒක අමතක වෙලා තිබෙනවා."

ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ බ්‍රහස්පතින්දා පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතා අදහස් දක්වමිනි.

"පාලනය දැඩි වැඩියි කියලා, තද වැඩියි කියලා, පාලනය ඒකාධිපති ස්වරූපයකට යනවා කියලා තමයි 2015 ජනවාරි 08 මේ රටේ ජනතාව වෙනසක් කළේ කියන එක අමතක කරන්න එපා. ඒ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා, මානව හිමිකම් ශක්තිමත් කරලා, මාධ්‍ය නිදහස ඇතුළු ඒ සියලු දේ දුන්නාම, ඒ සියලු දේම වැරදි විදියට භාවිත කරලා ඒ ආයුධයෙන්ම අද අපිට ගහනවා."

Image copyright PMD

මේ තොරතුරුද කියවන්න:

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන: "බණ්ඩාරනායක අගමැතිතුමාටත් මට අද කියන මේ කතා ටිකම තමයි කිව්වේ. බණ්ඩාරනායක ඇමතිතුමාට ඒ කාලයේ කිව්වා සෙවල බණ්ඩා කියලා. කොන්ද පණනැති බණ්ඩා කියලා කිව්වා. එහෙම තමයි බණ්ඩාරනායක මහත්තයාට කිව්වේ. එහෙම කියලා තමයි බණ්ඩාරනායක මහතාව මරලා දැම්මේ," යනුවෙන් ද කියා සිටියේය.

"එතකොට අදත් ඒ ස්වරූපයට හැසිරෙනවා. එදා බණ්ඩාරනායක මැතිතුමාට භාවිතා කළ වචන අද මටත් භාවිතා කරනවා. බණ්ඩාරනායක අගමැතිතුමා මේ රටේ බලයේ හිටියේ වසර තුනහමාරයි. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ හදවත් තුළ එතුමා ගැන මතකය තිබෙන්නේ එතුමා පුංචි මිනිසුන් වෙනුවෙන් සමාජ පරිවර්තනයක් කළ නිසයි."

Image copyright FACEBOOK/ GOTABAYA RAJAPAKSA

කෙසේ වුවත් එම ප්‍රකාශය පිළිබඳ බීබීසී සිංහල සේවය වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමීන්වහන්සේගෙන් විමසීමක් කළ අවස්ථාවේ එහිමියන් කියා සිටියේ සිය අනුශාසනය මගින් තමන් "එහෙම භයානක දෙයක් අදහස් නොකළ" බවය.

"මේ බොදු ජනතාවට යහපතක් වෙන විදියට දැහැමෙන්, සෙමෙන් වගේම අණ, බණ දෙකම තියෙන්න ඕන. අණ කියන එක හානිකර තත්වයක් නෙවෙයි. හොඳ තීන්දු අරගෙන රටට යහපතක් වෙන්නයි ඕන," එහිමියෝ බීබීසී සිංහල සේවය සමග කියා සිටියහ.

තවදුරටත් සිය අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, "ඔය ඉල්ලන ඒකාධිපතියෝ, ආඥාදායකයෝ, හමුදා පාලනයක් වුණත් හොඳයි කියන අය, ඒ අත්දැකීම පිළිබඳ අවබෝධයක් නැතිවයි ඒ දේවල් කතා කරන්නේ," යනුවෙන් ද කියා සිටියේය.

"මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ප්‍රබුද්ධයින්, දේශපාලනඥයින් රාශියක් ඉන්නවා. ඒ අය ඔය ඉල්ලන ආඥාදායකයෝ, ඒකාධිපතියෝ, මේ රටේ ඇතිවන්න කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැහැ. ඒක නිසා ආපු පාර වරද්දගන්න එපා. ආපු පාර වරද්දගෙන වළක වැටෙන්න ලෑස්ති වෙන්න එපා."

තවත් තොරතුරු: