කිළිනොච්චි අම්බලකුලම කොටි ඝාතනය සහ සමාජ මාධ්‍ය

bbc

ඡායාරූප මූලාශ්‍රය, Buddhika Dissanayaka/FB

කිළිනොච්චි දිස්ත්‍රික්කයේ අම්බලකුලම ප්‍රදේශයේදී බ්‍රහස්පතින්දා (ජුනි 21) කොටියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

වද හිංසා පමුණුවා මරාදැමීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් සත්ත්වයාගේ සිරුර සමග විවිධ ඉරියව්වෙන් ඡායාරුප ගැනීම සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්විය.

වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂා කිරීමේ ආඥා පනතේ 30 (2) වගන්තිය අනුව දැඩි ලෙස ආරක්‍ෂිත ක්‍ෂීරපායී සත්වයෙක් ලෙස දෙවෙනි උප ලේඛනයේ, ශ්‍රී ලංකා කොටියා ඇතුළත් කර තිබේ.

මේ නිසා, වඳවීයාමේ තර්ජනයට මුහුණපා ඇති ශ්‍රී ලංකාවට පමණක් ආවේනික මෙම සත්ත්ව විශේෂය මරණයට පත් කිරීම්, තුවාල කිරීම හෝ හානි කිරීම, අල්ලා ගැනීම හෝ සිරුරක් හෝ කොටසක් තම සන්තකයේ හෝ භාරයේ තබා ගැනීම, කොටසක් විකිනීම හෝ ඒ සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් වේ.​

තවද, ​පනතේ 67 (ආ) වගන්තිය අනුව මේ සියලු වරද, වරෙන්තුවකින් තොරව සැකකරුවෙක් අත්අඩංගුවට ගත හැකි හා ඇප දිය නොහැකි වරද වේ.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසරවේදීයෝ වනජීවී දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් යන දෙපාර්ශ්වයට ම චෝදනා කරති.

කෙසේ වුවත්, වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙහෙයුමට සහභාගී වුයේයැයි සඳහන් කරමින් කිළිනොච්චි වනජීවී නිලධාරියෙක් වශයෙන් හඳුන්වාගත් බුද්ධික දිසානායක තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්, 'සතා මැරීමට තිබූ උනන්දුව දැක්කේ එතන හිටිය අපි විතරයි' යනුවෙන් සඳහන් කර ඇත.

එසේම, කලබලකාරී ජනයා ගැවසෙන ස්ථානයක වන සතෙක් නිර්වින්දනය කිරීමේ ඇති අවදානම 'සතා නිර්වින්දනය කරන බෙහෙත එතන මිනිහෙක්ගේ වැදුනානම් තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා' යනුවෙන් සඳහන් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Buddhika Dissanayaka/FB

කෙසේ වුවත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවූ දැඩි බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස එහිම පළවූ වීඩියෝ සහ ඡායාරුපවල උපකාරයෙන්, පොලීසිය විසින් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

නමුත් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ 'සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ' ලේකම් නයනක රන්වැල්ල, වීඩියෝ දර්ශනවල සිටින ප්‍රමාණය අනුව හයදෙනෙක් අත්අඩංගුවට ගැනීම "කිසිසේත්ම ප්‍රමාණවත් නොවන" බව පැවසිය.

"සාමාන්‍යයෙන් ප්‍රකෘති සමාජයක සිදු නොවන අන්දමේ සිදුවීමක්වූ මෙය කිසිවෙක් අනුමත කරන්නෙ නැහැ"

"මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය වසර 5 ක කාලය තුළ ශ්‍රී ලංකාවට ආවේනික කොටි 40 ක් හෝ ඊට මඳක් වැඩියෙන් මියගොස් ඇති බවට තොරතුරු තියෙනවා," එවැනි තත්ත්වයක් තුළ මීට නිසි පියවර නොගන්නේ නම් මෙවැනි සිදුවීම් සුලභ වීමේ අවදානම ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මෙම හුදෙකලා සිදුවීම මගින් ප්‍රාදේශීය ජනයා විවේචනය කිරීම සාධාරණ නොවන බව පරිසර සංරක්ෂණ ක්‍රියාකාරිකයෙකු වන දිලුම් අලගියවන්න පවසයි. මේ සඳහා සමස්තයක් ලෙස ජනයා දැනුවත් කිරීමකින් තොරව විසඳුම් සපයාගත නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

කෙස් වුවත් සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් විවිධ ලෙස මෙම සිදුවීම විග්‍රහ කරන්නට පෙළඹිණි.

ඒ අතර, දේශපාලනඥයෙකු සම්බන්ධ කර නිර්මාණය කළ ඡායාරුපයක් බෙහෙවින් සංසරණයවී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Nuwan_Vidasshana_Bandara/FB

අවිධිමත් සංවර්ධන ක්‍රියාවලි මෙම ගැටලුව උග්‍ර කර ඇති බව නයනක රන්වැල්ල පවසයි.

"මේ සත්තු ගම්වදින්නේ ඔවුන්ගේ තිබෙන වනාන්තර පද්ධති එළි - පෙහෙළි කිරීම සහ ඒ වනාන්තර පද්ධති ඇතුළත විශාල මානව ක්‍රියාකාරකම් සිදුවීම නිසා"

"විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන යෝජනා ක්‍රම සම්බන්ධ මූලික පිඹුරුපත් සකස් කිරීමේදී බොහෝවිට අදාළ ප්‍රදේශයේ පරිසරය සහ ජන ජීවිතය යන කාරණා දෙකටම වැඩි ලංසුවක් තබන්නේ නැහැ" යනුවෙන් ද සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ ලේකම්වරයා පැවසිය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ද මෙම කරුණ ඉස්මතුකර තිබූ බව පෙනෙන්නට තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Dimuthu Bambaradeniya/FB

ඉහත පළකිරීම හා සමාන්තරව යමින් 'අලියා මාර්ගය හරහා යනවා නොව මාර්ගය වනය හරහා යන බවට අදහසක්ද තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් පලකරනු ලැබූහ.

ඡායාරූප මූලාශ්‍රය, Pulse/fb

කෙසේවෙතත්, අම්බලකුලමදී කොටියකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩි තොරතුරු විමසීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇමතීමට බීබීසී සිංහල සේවය අවස්ථා කීපයකදී උත්සාහ දරුවා ද එය සාර්ථක නොවීය.

සබැඳි පුවත්: