Fake News: ශ්‍රී ලංකාවට 'ඈඳූ' ජර්මන් පාපන්දු තරුව බොආටෙන්ග්

Fake News
ඡායාරූප ශීර්ෂ වැකිය,

ෆෙස්බුක්හි 'share' කෙරෙන ඡායාරූපය (දකුණු පසින් )

රුසියාවේ පැවැත්වෙන ලෝක පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකා නියෝජනයක් නොමැති වුවත් ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීහු තරග සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වති.

විශේෂයෙන් තරුණ ප්‍රජාව පාපන්දු ලෝක කුසලානය හා සම්බන්ධ පුවත්, අදහස් සහ ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පළ කරනු දැකගත හැක.

ෆේස්බුක් සමාජ ජාලය තුළ එසේ පළ කරනු ලබන ඇතැම් 'පොස්ට්' අතර ජය පැරදුම පිළිබඳ නැවුම් පුවත්, තමන් සහයෝගය දක්වන කණ්ඩායම හෝ ක්‍රීඩකයන් වෙත කෙරෙන සුභ පැතීම් මෙන්ම උපහාසාත්මක අදහස් ද වේ.

මේ අතර ජර්මන් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ජෙරෝම් බොආටෙන්ග් ශ්‍රී ලංකාවේ උපත ලැබුවෙකු බව සඳහන් කරමින් ෆේස්බුක්හි පළ කරන ලද ඡායාරූපයක් හාරදහසකට වැඩි පිරිසක් විසින් 'share' කරනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය,

හාරදහසකට වැඩි පිරිසක් 'Share' කර ඇති ඡායාරූපය

1989 වසරේ මාතර ප්‍රදේශයේ දුගී පවුලක උපත ලද ඔහු ජර්මන් යුවලක් විසින් හදාවඩා ගනු ලැබ ඇති බව එහි සඳහන් වේ.

ඉහත කී ඡායාරූපය පළ කරනු ලැබ ඇත්තේ හුදෙක් විනෝදය සඳහා ද , සිතාමතාම නොමග යැවීම සඳහා ද නැතහොත් කිසියම් පාර්ශ්ව උපහාසයට ලක් කිරීම සඳහා ද යන්න පැහැදිලි නැත.

අප්‍රිකානු-ජර්මානු සම්භවයක් ඇති ජෙරෝම් බොආටෙන්ග් 1988 වසරේ උපත ලබා ඇත්තේ බර්ලින් නුවරදීය.

ඔහුගේ පියා ඝානා සම්භවයක් ද මව ජර්මානු සම්භවයක් ද ඇත්තෝ වෙති.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ඔහුට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් ආරාධනා කළ බවක් ද ඉහත කී ඡායාරූපයේ සඳහන් වේ.

කෙසේ නමුත් ඔහු සම්බන්ධයෙන් ඉහත කී ඡායාරූපයේ අඩංගු පෞද්ගලික තොරතුරු ව්‍යාජ බව අන්තර්ජාලය පරිශීලනය කරන කවරකුට වුව ද තහවුරු කර ගතහැක.

ව්‍යාජ පුවත් (Fake News) සහ ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් සැරිසරන අතර එවැනි පුවත් පළ කරනු ලබන පුද්ගලයන්ගේ අරමුණු විවිධ විය හැක.

ව්‍යාජ පුවතක් යනු?

ව්‍යාජ පුවත් වර්ග දෙකකි

සත්‍ය නොවන යමක් පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් හෝ වෙබ් අඩවි වෙත වැඩි අවධානයක් යොමු කරවා ගැනීම සඳහා ඇතැම් පිරිස් සිතාමතාම ව්‍යාජ පුවත් පළ කරති.

ඇතැම් වාර්තාවල යම් සත්‍යයක් තිබුණ ද ඒවා සම්පූර්ණයෙන් නිවැරදි වාර්තා නොවේ. උදාහරණ: ඇතැම් මාධ්‍යවේදීන් හෝ බ්ලොග් ලේඛකයන් කිසියම් පුවතක් පලකිරීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් නොයෙදී එම පුවත වාර්තා කිරීම හෝ කරුණු උලුප්පා වාර්තා කිරීම.

ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයකි.

  • අදාළ පුවත වෙනත් අයකු විසින් පළ කරනු ලැබ ඇත්දැයි සොයා බැලීම
  • අදාළ පුවත ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ පුවත්පතක පළකොට ඇත්දැයි සොයා බැලීම
  • අදාළ පුවත පළ කරනු ලැබ ඇති ආයතනය හෝ ෆේස්බුක් පිටුව පිළිබඳ මීට පෙර අසා තිබේද?
  • අදාළ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ විශ්වසනීයත්වය
  • ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය (ඇතැම් විට සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ව්‍යාජ පුවත් පළ වේ)
  • අදාළ පුවත විශ්වාස දනවන සුළු දැයි යන්න සිතාබැලීම

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක.

ශ්‍රී ලංකාව හා සම්බන්ධ ව්‍යාජ පුවත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අවස්ථා ද දුලභ නොවේ.

ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට අවසර ලබා දෙමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවට පළ වූ වාර්තාව ඊට එක් උදාහරණයකි.

එමෙන්ම 2016 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තරග කරන බව පවසමින් ෆේස්බුක් ජාලයේ වාර්තා පළ වූ අතර ඡායාරූපයක් ද සහිතව පළ වූ එවැනි එක් ලිපියක් 7000 කට අධික පිරිසක් විසින් යළි 'share' කරනු ලැබ තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, FB

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇමරිකාවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තරග කරන බවට සමාජ ජලයේ පළ වූ වාර්තාව