මන්නාරම සමූහ මිනීවළෙන් මිනිස් හිස්කබල් තිහක් හමු වෙයි

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළ තිබී දැනට මිනිස් හිස්කබල් තිහක් සොයා ගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන විශේෂඥ කණ්ඩායම පවසයි.

ඉහත කී ගොඩනැගිල්ල කඩා දමා එම ස්ථානයෙන් ඉවත් කළ පස් මන්නාරම එමිල් නගර් ප්‍රදේශය වෙත ගෙන ගොස් තිබු අතර එම පස් ගොඩක තිබී මිනිස් අස්ථි කොටස් හමුවී තිබුනේ පසුගිය මාර්තු 26 වෙනිදාය.

මන්නාරම පොලිසිය ඒ සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

මන්නාරම මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ එහි ප්‍රධාන විමර්ශන නිලධාරියා වශයෙන් කටයුතු කරයි.

අස්ථි කොටස්වල ඇති ජීව විද්‍යාත්මක ලක්ෂණ, අනතුරු, බාහිර බලපෑම්වලින් සිදුවිය හැකි වෙනස්කම් ආදී කරුණු පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් වාර්තාවක් සකසනු ලැබීමට නියමිතය.

වෝහාරික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරන මහාචාර්ය රාජ් සෝමදේව ඇටසැකිලි ක්‍රමවත් ලෙස ඉවත් කිරීම සහ ඊට සම්බන්ධ සිදුවීම අර්ථ නිරූපනය කිරීමට අවශ්‍ය සාක්ෂි පෙළගැස්වීම සඳහා විශේෂඥ සහාය ලබා දෙයි.

මාසයක පමණ කාලයක් කළ විමර්ශනවලින් අනතුරුව වර්ග තුනකට අයත් ඇටසැකිලි සොයා ගනු ලැබූ බව මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.

"සම්පූර්ණ ඇටසැකිලි තිබෙනවා.ඇටසැකිලි කොටස් සහ නිශ්චිත ඇටසැකිල්ලකට සම්බන්ධ කරන්න බැරි මිනිස් අස්ථි කොටස් එහි තිබෙනවා," යනුවෙන් මහාචාර්ය රාජ් සෝමදේව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ 88,89 තරුණ පිබිදීම සහ යුද සමයට අයත් යයි සැක කෙරෙන සමූහ මිනීවළවල් ගණනාවක් උතුරේ සහ දකුණේ විවිධ ප්‍රදේශවලින් හමුව තිබේ.

දකුණෙන් සුරියකන්ද, වනවාසල, සහ මාතලෙන් මෙන්ම උතුරෙන් චෙම්මනි,මිරිසවිල්,යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගනය, මන්නාරමේ කෙතීස්වරම් එවැනි සමූහ මිනීවළවල් හමුවූ ස්ථාන අතර වෙයි.

සමූහ මිනීවළක් සහ සුසාන භූමියක් හඳුනා ගැනීමේ දී කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු වන බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

"සාමාන්‍යයෙන් නීත්‍යනුකූල, චාරිත්‍රානුකූල ක්‍රමවත් සුසාන භූමියක මළසිරුරු තැනපත් කරන ක්‍රමයක් තිබෙනවා. ඒ ඒ ආගම් සහ සංස්කෘතීන්වලට අයත් ලක්ෂණ තිබෙනවා. සිරුර තැන්පත් කිරීමේදී සිදු කරන යාතුකර්ම සහ දිශානතිය සම්බන්ධ චාරිත්‍ර තිබෙනවා,"

සමූහ මිනීවළක දැකිය හැකි ලක්ෂණ පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්යවරයා කියා සිටියේ, "සාමාන්‍යයෙන් එසේ නොවන ක්‍රමවත් සුසානයක් නොවන ආකාරයට අවිධිමත් ලෙස මළසිරුරු වළලා තිබේ නම් ඉහත කී විධිමත් ලක්ෂණ ඒවායේ දකින්න නැහැ," යනුවෙනි.

සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ එක් පසෙක තිබී විධිමත් ලෙස මිහිදන් කළ ඇටසැකිලි කීපයක් හමුව ඇති බවත් අවිධිමත් ලෙස මිහිදන් කළ ඇටසැකිලි ඊට යාබද ස්ථානයකින් හමු වී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

විධිමත් ලෙස ඇටසැකිලි මිහිදන් කර තිබූ ස්ථානය සහ ඒ අවට පසෙහි ලක්ෂණ දෙස බැලීමේදී හින්දු චාරිත්‍රාකූලව ඒවා මිහිදන් කර ඇතැයි සිතිය හැකි බව ඔහු පැවසීය.

"ඊට යාබදව අප විශේෂ අවධානය යොමු කර තිබෙන ස්ථානයේ එවැනි ලකුණක් පෙනෙන්න නැහැ,"

තවත් සති තුනක පමණ කාලයක් කැනීම් කටයුතු සිදු කෙරෙනු ඇති බව කී මහාචාර්ය රාජ් සෝමදේව එම ස්ථානයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම් සහ ද්‍රව්‍යමය අවශේෂ ආශ්‍රිත කර ගනිමින් ඇටසැකිලි සම්බන්ධයෙන් සාපේක්ෂ කාල රාමුවක් යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

"අපේ වාර්තාවෙන් යෝජනා කරනවා, ඉහත කී කාල රාමුව තවදුරටත් සනාථ කර ගැනීමට අවශ්‍ය නම් විද්‍යාත්මක පරීක්ෂණ සඳහා ඒ සාම්පල යොමු කරන ලෙස,"

මීට ඉහතදී මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත පිවිසෙන මාර්ගයේ ජල නළ පද්ධතියක් එලීමේදී මිනිස් සිරුරු 85 කට ආසන්න ප්‍රමාණයක අස්ථි කොටස් හමුවිය.

අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් එවක අනුරාධපුර රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ලෙස කටයුතු කළ ඩි.එල්.වෛද්‍යරත්න පරීක්ෂණ සිදු කළ අතර එය පැරණි සුසාන භූමියක් බව වැඩිදුර පරීක්ෂණවලින් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් විය.

තිරුකේදීශ්වරන් පළාතෙන් හමුවූ සමූහ මිනීවළ ඉපැරණි සුසාන භූමියක් බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තහවුරු කොට මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සාවද්‍ය‍ යැයි මන්නාරම රදගුරු හිමිපාණන් ඇතුළු තවත් ආයතන තුනක් එවක ලිපි මගින් අධිකරණයට දැනුම්දීම් දී තිබිණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුමක් පැවසුවද අදාළ සමූහ මිනීවළේ යුද්ධය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ඇටසැකිලි තිබෙන බවට සාධාරණ සැකයක් ඇති බැවින් අධිකරණය ඒ සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ සිදු කළ යුතු බව ඉහත කී ලිපියේ සඳහන් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්