දෙහිවල සත්තු වත්තේ සෙල්ෆි 'විරෝධී' බැබුන්: "සතුන් ළඟ විනීත වෙන්න"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සෙල්ෆි 'විරෝධී' බැබුන්

"වඳුරට දැලි පිහිය අහු වුනා වගේ, වඳුරා සහ පලංචිය, වඳුරා සහ තොප්පි වෙළෙන්දා" යනාදී ලෙසින් වඳුරන් ගැන විවිධ ජනකථා ජනවහරේ දැක්වේ.

එවැනි බොහෝ අවස්ථාවල ජනවහරේ වඳුරන් හඳුන්වා තිබෙන්නේ අනවශ්‍ය දේ අතපත ගෑමට ගොස් ඇබැද්දීන්ට මුහුණ පාන සතෙකු ලෙසිනි.

මේ අතර විසි එක් වෙනි සියවසයේදී වඳුරන් ඉදිරියේ "සතුන් මෙන් හැසිරීමට ගොස්" ඇබැද්දීන්ට ලක්වන ඇතැම් මනුසතුන් පිළිබඳව ද අසන්නට ලැබේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත පැමිණෙන නරඹන්නන්ගෙන් බැබුන්, වඳුරන්, රිලවුන්, චිම්පන්සින් සහ ඔරන්ඔටන් ඇතුළු ප්‍රයිමේටා කුලයට අයත් සතුන්ට හිරිහැර සිදුවන බවට සත්වෝද්‍යාන බලධාරීන් කරන චෝදනාව එවැනි එක් අවස්ථාවකි.

"මේ සතුන්ගේ හැසිරීමේ මිනිසුන්ට සමීප බවක් තිබෙනවා. මිනිස්සු කරන බොහෝ දේ අනුකරණය කිරීමේ සුවිශේෂී හැකියාවක් ඔවුන්ට තිබෙනවා. මිනිස්සු ඒ දේ දන්න නිසාම ඔවුන් මේ අයට හිරිහැර කරනවා," යනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් පැවසීය.

සත්වෝද්‍යානය වෙත පැමිණෙන නරඹන්නන් ප්‍රයිමේටා කුලයට අයත් සතුන්ට ගල් සහ කෝටු කැබලිවලින් පහර දෙන බව ඔහු සඳහන් කරයි.

සිල් බිඳ ගත් තාපස බැබුන්

සතුන්ට වඩා කෑ මොර දෙන්නේ එහි පැමිණෙන මනුසතුන් බව එහි ගිය විට අපට දැකගත හැකිවිය. මිනිසුන්ගේ ඔච්චම් මැද තාපස බැබුන්ගේ තපස් බිඳී ගොස් ඇති සෙයකි.

එසේ උසුළු විසුළු පාමින් ඉහත කී සතුන් අසලට යන ඇතැම් පුද්ගලයන්ට සිදුවන ඇබැද්දි පිළිබඳ නිහාල් සෙනරත් බීබීසී සිංහල සේවය වෙත කරුණු පැහැදිලි කළේය.

"මේ සත්තු ජංගම දුරකථනවලට ඇල්මක් දක්වනවා. අපට නරඹන්නන්ගෙන් පැමිණිලි ලැබෙනවා තමන්ගේ දුරකථනය බැබුන්ලා, රිලව් ගත්තා කියලා. ඔවුන් වෙත ලංවෙන්න එපා කියලා අපි දැන්වීම් සවි කර තිබෙනවා. නමුත් මිනිස්සු මේවා පිළිපදින්නේ නැහැ," ඔහු පැවසීය.

"ඔවුන් සතුන් විහිළුවට ලක් කරනවා. එසේ කරමින් සෙල්ෆි ගන්න යනවා. ඒ අවස්ථාවල අපට හිතන්නවත් කාලයක් නොතබා මේ සතුන් ක්ෂණිකව දුරකථන කඩා ගන්නවා. නමුත් ඒවා ආපසු ලබා දීමට හැකියාවක් නැහැ, ඒ සත්තු ඒවා විනාශ කරනවා."

අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් පවසන පරිදි පසුගිය කාලය තුළ තාපස බැබුන් අතට පත්ව ඇති ජංගම දුරකථන සංඛ්‍යාව සියයකට ආසන්නය.

දියවැඩියාව සහ හෘද රෝග

එසේම බැබුන්, රිලවුන් සහ වඳුරන්ගේ හැසිරීම් රටාව පිළිබඳ දන්නා පුද්ගලයන් සිතාමතාම ඔවුන් රවටා යම් තෘප්තියක් ලබන බව ද ඔහු කියා සිටී.

"දුරකථනය සතාට දෙන්න වගේ ගිහින් ආයෙත් ළඟට ගන්නවා. ඒ වගේ අවස්ථාවක සතා ඒක දරා ගන්නේ හරිම අසීරුවෙන්. ඒ වෙලාවට සතුන් ඔලුවේ කෙස් අතින් ඇදගෙන, ඔලුව බදාගෙන ඉතාම කේන්තියෙන් පොළොවේ උඩ පනින ආකාරය දකින්න පුළුවන්."

සත්වෝද්‍යාන බලධාරීන් පවසන පරිදි සතියේ දිනකදී දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත පැමිණෙන නරඹන්නන් සංඛ්‍යාව 2000-5000 වන අතර සති අන්තයකදී දිනකට පැමිණෙන නරඹන්නන් සංඛ්‍යාව 10,000-15,000 අතර අගයක් ගනු ලබයි.

සතුන් පීඩනයට ලක් කර ලබන්නා වූ තෘප්තියට අමතරව එසේ පැමිණෙන ඇතැම් පුද්ගලයන් සතුන්ගේ සෞඛ්‍යට අහිතකර ආහාර ඔවුන්ට ලබා දෙන බවටත් සත්වෝද්‍යාන බලධාරීහු මැසිවිලි නගති.

"අයිස් ක්‍රීම්, බිස්කට්, කඩල වැනි ආහාර මිනිස්සු සතුන්ට කන්න දෙනවා. ඒකෙන් සිදුවන්නේ සතුන් රෝගී තත්ත්වයට පත්වීම. ලබාදෙන පැණිරස ආහාරවලින් සතුන්ට දියවැඩියාව හැදෙනවා. තෙල් සහිත ආහාර නිසා හෘද රෝග තත්ත්ව ඇති වෙනවා," යනුවෙන් ද අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් පැවසීය.

පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පෝෂණවේදීන් විසින් සත්වෝද්‍යානය තුළ වෙසෙන සතුන්ට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දෙන බව ඔහු පෙන්වා දෙයි.

ප්‍රයිමේටා කුලයේ සතුන් ඉදිරියේ මිනිසුන් හැසිරෙන ආකාරය සෙසු සතුන් ඉදිරියේදී ද එලෙසම දැකගත හැක.

"සතුන් ඉදිරියේ හොඳින් හැසිරෙන්න"

ව්‍යාඝ්‍රයන් වෙසෙන කුටිය අසලට පෙරපාසල් වයසේ පසුවන දරුවන් රැගෙන ගොස් සිටි පියෙකු එහි දොරට ගසමින් එහි වූ සිදුරකින් ඇඟිල්ල ඇතුළු කර ව්‍යාඝ්‍රයා තමන් දෙසට ගෙන ඒමේ උත්සාහයක නිරත වෙයි.

තවත් සමහරෙක් ව්‍යාඝ්‍ර කුටිය සහ චිම්පන්සි කුටියට යොදා ඇති වීදුරුවට තඩි බාමින් නින්දේ පසුවන සතුන් තමා වෙත ගෙන ඒමට උත්සාහ කරති.

පක්ෂීන් වෙසෙන නිදහස් කුටියට ඇතුළු වී ඔවුන්ට බාධාවන අයුරින් දෙමව්පියන් ඉදිරියේදීම දරුවෝ හැසිරෙති.

එවැනි හැසිරීම් සතුන්ට බාධාවක් වන බැවින් ඔවුන් ඉදිරියේ වීනීතව හැසිරෙන ලෙස දෙහිවල සත්වෝද්‍යානය එහි පැමිණෙන නරඹන්නන්ගෙන් ඉල්ලා සිටී.

"දරුවෝ එන්නේ දෙමව්පියන් එක්ක. පාසල් දරුවෝ එන්නේ ගුරුභවතුන් එක්ක. වෙනත් ස්ථානයක දී හැසිරිය යුතු ආකාරය දරුවන්ට උගන්වන්න ඔවුන්ට වගකීමක් තිබෙනවා. සත්වෝද්‍යානයක හැසිරිය යුතු ආකාරය දන්නේ නැති නම් අපේ අන්තර්ජාල වෙබ් අඩවියට ඇතුළු වී ඒ පිළිබඳ දැනගත හැකි," අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් සඳහන් කළේය.

මේ අතර සත්වෝද්‍යානය තුළ සතුන්ට හිරිහැර වන ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන්ට ඉහළ දඩයක් නියම කිරීමට හැකිවන පරිදී අදාළ පනත සංශෝධනය කිරීමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා මල්සිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්