ශ්‍රී ලංකාවේ ඝාතන: "නීතිවිරෝධී සුළු අවි සංසරණයක් විශාල වශයෙන් සිදුවෙනවා"

Image copyright Getty Images

ඉරිදා රාත්‍රියේ සහ සඳුදා උදෑසන කොළඹ නගරයේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුවිය.

පිටකොටුව හෙට්ටිවීදියේදී සඳුදා උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ ස්වාධීන නාගරික මන්ත්‍රීවරයකු වන ක්‍රිෂ්ණාපිල්ලෙයි ගිරුබානන්දන් මිය ගියේ ඔහුගේ වෙළෙඳසල තුළදීමය.

ඉරිදා රාත්‍රියේ කොළඹ ජම්පටාවීදියේ සිදුවූ තවත් වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් මිය ගිය අතර එහිදී වෙඩි වැදුණු තවත් දෙදෙනෙක් බරපතල තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

පසුගිය සමයේ රට පුරා බොහෝ ප්‍රදේශවලින් මෙවැනි වෙඩි තැබීම් වාර්තා වූ අතර ඒවා පාතාල කල්ලි අතර පවතින ගැටුම් බව පොලීසියේ ස්ථාවරය වී තිබේ.

කෙසේ වෙතත් රට තුළ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට ආණ්ඩුව අපොහොසත්වීම මෙලෙස දිනෙන් දින ඝාතන හා වෙඩි තැබීම් වැඩිවීමට හේතුවී ඇති බවට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම චෝදනා කරයි.

එම කණ්ඩායම පවසන පරිදි මෙම වසරේ මුල් මාස පහ තුළ පමණක් වෙඩි තැබීම් වලින් පමණක් පුද්ගල ඝාතන 33 කට වැඩි ප්‍රමාණයක් සිදුවී තිබේ.

Image caption නිරවිකරණය හා සංවර්ධනය පිළිබඳ සංසදයේ විද්‍යා අබේගුණවර්ධන

"ජුනි මාසයේ විතරක් විවිධාකාරයේ ඝාතන 42ක් වෙලා තියෙනවා අපිට ලැබිලා තියෙන වාර්තා අනුව. අපි නීතියක් නැති රටක් බවට පත්වෙමින් යනවා. හැමදාම වෙඩි තැබීම්. මේ ගිනි අවි කොහෙන්ද? අපිට සැකයි ආණ්ඩුව පාතාලයට අනුග්‍රහය දක්වනවද කියලා," යනුවෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

විරුද්ධ පක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව මෙන්ම පොලිසිය නිතර පවසන්නේ පසුගිය වසරවල සංඛ්‍යා ලේඛන සමග සසඳා බැලීමේදී අපරාධවල විශාල වැඩිවීමක් නොමැති බවය.

මේ අතර මෙලෙස මනුෂ්‍ය ඝාතන සිදුවීම් වාර්තා වීමට රට තුළ නීතිවිරෝධී ලෙස සංසරණය වන සැහැල්ලු ගිනි අවි දැඩි ලෙස හේතුවී ඇති බව නිරවිකරණය හා සංවර්ධනය පිළිබඳ සංසදය පෙන්වා දෙයි.

එම සංසදයේ විද්‍යා අබේගුණවර්ධන බීබීසි සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ නීතිවිරෝධිව සංසරණය වන ගිනිඅවි වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළැඹ ඇති බවය.

"දැන් මේ සිදුවීම් බලද්දී පොලිසිය පවා භාවිත නොකරන අවි මේ අය ළඟ තියෙනවා. මේක ලංකාවේ ජාතික ආරක්ෂාවට නෙවෙයි මානව ආරක්ෂාවට තියෙන බරපතලම ප්‍රශ්නය ලෙසයි අපි දකින්නේ," විද්‍යා අබේගුණවර්ධන කියා සිටියේය.

"එල්ටීටීය පැවති සමයේ ඔවුන් දකුණට ගිනි අවි විකුණලා තිබුණා. ඊට අමතරව උතුරේ සිටි ආරක්ෂක අංශවල සොල්දාදුවන් දකුණට ගිනි අවි අරන් ආව. මෑතකදී බස් රථයක අත්බෝම්බයක් පුපුරන්නෙත් එහෙම ගෙනාපු එකකින්. ඊට අමතරව 88 කාලයේදී පළාත් සභා මන්ත්‍රීවරුන්ට දුන් අවිවිලට මොනවද වුනේ කියල නැහැ," අවි සංසරණය ගැන අදහස් දක්වමින් ඔහු පැවසීය.

වර්තමානයේ භාවිතවන ගිනිඅවි බොහෝදුරට මුහුදු මාර්ගවලින් බෝට්ටුවලින් රට තුළට ගෙනෙන ඒවා යැයි විශ්වාස කළ හැකි බව පවසන විද්‍යා අබේගුණවර්ධන "මේ රට තුළ අපි නොදකින නීතිවිරෝධී සුළු අවි සංසරණයක් විශාල වශයෙන් සිදුවෙනවා," යැයි කියා සිටියේය.

තවත් කියවන්න:

නීති විරෝධී සුළු අවි සහ සැහැල්ලු අවි වලට එරෙහි වැඩපිළිවෙලක් 2003 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ බව පවසන නිරවිකරණය හා සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධිකාරකවරයා, එම වැඩසටහන සමග පිහිටු වූ කොමිසමක් මගින් 2006 වසරේ සැහැල්ලු අවි 35,000ක් ප්‍රසිද්ධියේ විනාශ කළ බව කියා සිටියේය.

"නිදහස් චතුරශ්‍රයේ ඒ ගිනිඅවි 35,000 ප්‍රසිද්ධියේ විනාශ කළා. අවාසනාවකට 2008 වසරෙන් පස්සේ ඒ වැඩසටහන් ක්‍රියාත්මක වුනේ නැහැ."

මේ අතර අපරාධ ගැන මාධ්‍ය වාර්තා කිරිම වැඩිවීම නිසා අපරාධ වැඩිවීමක් සිදුවී ඇතැයි හැඟීමක් ඇතිවී තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් පවසා තිබුණි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවල දැක්වෙන ආකාරයට, ගතව ගිය වර්ෂ කිහිපය තුළ වාර්තා වූ බරපතල අපරාධ පහත දැක්වේ. ඒ අනුව 2013 වාර්තා වූ බරපතල අපරාධවලට වඩා 2017 වාර්තා වූ බරපතල අපරාධ ප්‍රමාණය 20,000 කින් පමණ පහත වැටී තිබේ.

ගිනි අවි යොදාගෙන රට තුළ සිදුවන අපරාධ රැල්ල නැවැත්වීමට වහාම ශ්‍රී ලංකා යුද අවි වෙළඳාමට එරෙහි සම්මුතියට ප්‍රවේශ වී එමගින් ලැබෙන තාක්ෂණික සහය ලබාගෙන අතීතයේ තිබුණු "සුළු සහ නීතිවිරෝධී ගිනි අවි පැතිරයාමේ ජාතික කොමිසම" පිහිටුවිය යුතු බවට නිරවිකරණය හා සංවර්ධනය පිළිබඳ සංසදය ඉල්ලා සිටියි.

නීති විරෝධි ගිනිඅවි පිළිබඳ තොරතුරු ලබාදෙන අයට මුදලින් ත්‍යාග ලබාදෙමින් එම ගිනි අවි නැවත ලබාගැනීමේ වැඩසටහනක් පොලිසිය 2017 වසර මුලදී සිදුකළ අතර එයට එතරම් යහපත් ප්‍රතිචාර හිමිවී නොතිබුණි.

නීති විරෝධී ගිනි අවි ගැන පුළුල් මහජන කතිකාවක් ඇති නොකොට මහජනතාවගේ සහ සිවිල් සමාජයේ සහය ලබානොගෙන එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඒවා අසාර්ථක වීමට හේතුවී තිබෙන බව ද විද්‍යා අබේගුණවර්ධන පෙන්වා දෙයි.

සුළු සහ නීතිවිරෝධී ගිනි අවි පැතිරයාමේ ජාතික කොමිසම පිහුටුවා පුළුල් මහජන කතිකාවක් ඇතිකර රට තුල සංසරණය වන මෙම නීතිවිරෝධී ගිනිඅවි විනාශ කිරීමට රජය මෙන්ම සියළු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව ඔහු පවසයි.

නීති විරෝධි ගිනි අවි දහසකට ආසන්න ප්‍රමාණයක් රටපුරා නිදහසේ සංසරණය වන්නේ යයි අනුමාන කරන බව ආරක්ෂක අමාත්‍යාංශ හිටපු ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි 2016 වසරේ ප්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් නිරීක්ෂකයන් පවසන්නේ එම ප්‍රමාණය බොහෝ ලෙස වැඩිවී ඇතැයි අනුමානය කරන බවය.

තවත් වාර්තා:

සබැඳි විෂයයන්