කන්තලේ සීනි කම්හල: මියැදෙන නැගෙනහිර 'නොනිදි නගරය'

"ඕන කරන අඩුම කුඩුම ගන්න පිට යන්න ඕනේ වුනේ නැහැ. බීජ ගොවිපල වෙනම තිබුනා. ගොවිපලවල කුකුලො, එළුවො, එළවළු බෝග වගා කෙරුවා. අමතර බෝග අංශය කියලා තිබුණා. මෙතන සුපර් මාකට් එකක් තිබුණා. බේකරිය තිබුණා, කඩ තිබුණා, වෙනම බස් තිබුණා යන්න."

මේ විස්තර කරන්නේ මීට වසර තිහකට පමණ ඉහතදී අභාවයට ගිය එවක සෝවියට් දේශයට අයත්ව තිබූ 'චර්නොබිල්' න්‍යෂ්ටික බලාගාරය පිහිටි 'ප්‍රිප්යාත්' නගරයේ එදා පැවති තත්ත්වය නොවේ.

"බැංකුවක් තිබ්බා, වෛද්‍ය මධ්‍යස්ථානයක් තිබ්බා. තැපැල් කන්තෝරුවක් තිබ්බා. සමාජශාලා දෙකක් තිබ්බා. නැතුව තිබ්බේ පිචර් හෝල් එකක් විතරයි."

ඉහත දැක්වෙන්නේ දැනට වසර හතළිහකට පමණ පෙර කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සහ පැවති සශ්‍රිකත්වය පිළිබඳ එහි දැනට ඉතිරිව සිටින සේවකයන් දක්වන අදහස්ය.

හපා ඉවතලූ උක් පිඬක් යළි රස කරන්නාක් මෙන් කන්තලේ ජනතාව සීනි කම්හලේ අතීතය තවමත් තළු මරමින් සිහි කරති.

කන්තලේ නගරයෙන් හැරී සීනි කර්මාන්ත ශාලාව වෙත වැටී ඇති මග අද අබලන්ව ගොස්ය. මුර කපොල්ලෙන් ඔබ්බට ඇති ඇළ මාර්ගයේ වතුර සිඳී ගොසිනි. ඈතින් පෙනෙන වල් බිහි වූ වැවක දිය නාන ළමුන් පිරිසක් දිස්වේ. කැඩී බිඳී ගිය මාර්ගයේ ඇවිද එන ගැමියෙකු ඉඳ සිට හමුවෙයි.

අවසානයේ මා, කලක් නොනිදන නගරයක්ව පැවති කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමිය වෙත ළඟා වුනෙමි.

වසා ඇති ප්‍රධාන දොරට්‍රුවේ කම්බි අතරින් එදා ප්‍රතාපවත් ලෙස නැගී සිටි කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල දිස්වේ.

ප්‍රධාන දොරටුවට පසෙකින් පිහිටි ආරක්ෂක කුටියේ හිඳ සිටි කීප දෙනෙක් මා දැක ඉන් පිටතට පැමිණියහ. ඔවුන් කර්මාන්ත ශාලාවේ දැනට ඉතිරිව සිටින ආරක්ෂක නිලධාරීන් ඇතුළු සේවකයන් පිරිසකි.

සීනි කර්මාන්ත ශාලාවේ අද තත්ත්වය පිළිබඳ වාර්තාවක් සැකසීමේ අරමුණින් මා එහි පැමිණි බව පැවසූ විට ලැබුනේ උදාසීන පිළිතුරකි.

"ෆැක්ටරියට ඉබ්බ දාලා තියෙන්නේ. ඇතුල් වෙන්න බැහැ. පිටින් විතරයි බලන්න පුළුවන්."

Image caption උක් දඬු ප්‍රවාහනය සඳහා යොදා ගත් ට්‍රේලර

කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වන ස්ථානය අසල උක් දඬු ඇදීමට යොදා ගත් දිරා ගිය ට්‍රැක්ටර් රථ පෙළකි. එදා උක් දඬුවල බර කිරීමට යොදා ගත් දොඹකරය ඉහළ සිට ඒ දෙස බලා සිටී. ආරක්ෂක මුර කුටියට ඔබ්බෙන් පිහිටි කාර්යාලීය ගොඩනැගිල්ල කැලයට නතු වෙමින් පවතී.

තරුණ කණ්ඩායම් දෙකක් පැමිණ මියැදුණු යෝධ කර්මාන්ත ශාලාව පිටත සිට පිරික්සති. කර්මාන්ත ශාලා ප්‍රධාන ගොඩනැගිල්ලට මඳක් දුරින් පිහිටා ඇත්තේ බර වාහන සහ යන්ත්‍ර අංගනයයි. මීට වසර විස්සකට පමණ පෙර නින්දට ගිය ලොරි රථ, පස් කැපීමේ යන්ත්‍ර සහ බර වාහන එහි දිරාපත් වෙමින් පවතී.

"නොනිදන නගරයක්"

මඳ වේලාවක් එහි ගත කර ආරක්ෂක කුටිය වෙත පියමැන යත්ම ඇතුළත සිටි ආරක්ෂක නිලධාරියෙකුගෙන් මා වෙත ඇරයුමක් ලැබිණි.

"මහත්තයා කහට එකක් බොමුද?"

ආරාධනය පිළිගත් මා එහි සිටි සෙසු නිලධාරීන් අසලින් හිඳ ගතිමි.

"බලන්න අද මේකට වෙලා තියන දේ. මේක කාලයක් නොනිදන නගරයක්. කන්තලේ වැව් බන්ට් එකට ගිහාම මේකේ එලිය වෙනම පේනවා. විදුලිය නිෂ්පාදනය කළේ ඉවත දාන උක් දඬුවලින්."

තවත් ආරක්ෂක නිලධාරියෙක් කතාවට එක් වෙයි.

"සීනි කම්හලේ වැඩ නැවතුනේ අනූ තුන අවුරුද්දේ. ඒ කාලේ 1700 විතර ස්ථීර සේවකයෝ හිටියා. අනියම් සේවකයෝ 5000 විතර ඉන්න ඇති. මේ අවට ක්වාටස් 1200 විතර තියෙනවා. දැනට මිනිස්සු ඉන්නේ තිහ හතළිහක් විතරයි. අනික් ගෙවල් ඔක්කොම කැලේට ගිහින්."

"කුරුඳුවත්තේ මිනිස්සු"

"මෙහෙ ඉන්න මිනිස්සුන්ව කන්තලේ නගරේ ඉන්න අය හැඳින්වුයේ කුරුඳුවත්තේ මිනිස්සු කියලා, ඒ කාලේ ලංකාවේ කොහේ ගියත් මෙහෙ දවසක් හරි වැඩ කරපු මනුස්සයෙක් හම්බ වෙනවා," එහි සිටි තෙවැන්නා කතාවට අලගු තබයි.

"අපිට දැන් මාස හතකින් පඩි නැහැ. ඒ කාලේ එල්ටීටීඊ තර්ජන තිබ්බා, දැන් අලි කඩා වදිනවා. අපි මෙච්චර කාලයක් සොරසතුරන්ගෙන් මේ දේපල ආරක්ෂා කළා," සිව් වැනි නිලධාරියා අතීතයෙන් වර්තමානයට පැමිණි සෙයකි.

එහි සිටි ආරක්ෂක නිලධාරීන් පවසන පරිදි දැනට කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යටතේ සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව 32 කි.

කර්මාන්ත ශාලාවට ඔබ්බෙන් පිහිටා ඇති වෘත්තීය සමිති කාර්යාල කැලෑවේ නොපෙනී ගොස්ය. කාර්යාල ඉදිරිපිට ඇති මළ කෑ කොඩි කණු පමණක් තවමත් එලෙසම නැගී සිටී.

චෙකොස්‌ලොවැකියා ප්‍රදානය

එවක චෙකොස්‌ලොවෙකියා රජය විසින් ලබාදුන් ප්‍රදානයක්‌ වන කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුනේ 1960 වසරේ ඔක්‌තෝබර් 02 වෙනිදාය. කර්මාන්ත ශාලාව විවෘත කරනු ලැබුවේ එවක අගමැතිවරිය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක අතිනි. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් භූමි ප්‍රදේශය අක්කර 21,000 ආසන්නය.

Image caption වෘත්තීය සමිති කාර්යාලයක්

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු අසූව දශකයේ අගභාගය වනවිට ඇනහිටි අතර 1993 වසර වන විට එය පෞද්ගලික සමාගමක් වෙත පවරනු ලැබීය. අනතුරුව 1997 වසරේ දී යළි රජයට පවරා ගනු ලැබූ සීනි කර්මාන්ත ශාලාව ප්‍රකෘති තත්ත්වයට ගෙන එන බවට වත්මන් සහ පැවති ආණ්ඩු මැතිවරණවලදී පොරොන්දු වූ බව ගම්වැසියෝ සහ දැනට ඉතිරිව සිටින සේවකයෝ පවසති.

කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව රජය, ඉන්දියාවේ 'එම්ජී සුගර්ස්' සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබීය. ඒ අනුව සීනි කර්මාන්ත ශාලාවේ කොටස්වලින් 51% රජයටත් 49% ඉන්දීය සමාගමටත් හිමි විය.

අල්ලස් චෝදනා

ඉඩම් අමාත්‍යාංශය යටතේ පැවති කන්තලේ සීනි කර්මාන්ත ශාලාව දැන් පවතින්නේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශය යටතේය.

මේ අතර කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් දේපල ඇතුළු යන්ත්‍ර සූත්‍ර වෙන්දේසි කිරීම සඳහා අල්ලස් ලබා ගත් බව පැවසෙන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයිකේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක පසුගිය මැයි 03 වෙනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රුපියල් කෝටි දෙකක පමණ මූල්‍ය අල්ලසක් ලබා ගනිමින් සිටියදී රාජ්‍ය නිලධාරීන් දෙදෙනා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ට කොටු වූ බව වාර්තා විය.

ඔවුන් සිය අල්ලස හැටියට රුපියල් කෝටි පනහක පමණ මුදලක් ඉල්ලා පසුව එය රුපියල් කෝටි දහයකට අඩුකර ඇති බවත් පැවසිනි.

ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ එම කෝටි දහයෙන් කෝටි දෙකක පමණ මුදලක් ලබා ගනිමින් සිටියදී බව ද මාධ්‍ය වාර්තාවල දැක්විණ.

මේ අතර කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ දැනට සේවයේ නිරත ඇතැම් පිරිස් පවසන්නේ එහි ඇති යකඩ සහ යන්ත්‍ර සුත්‍රවල මිල ඇස්තමේන්තු කර ඇති රුපියල් කෝටි 54ට වඩා බෙහෙවින් වැඩි අගයක් ගන්නා බවය.

සීනි කර්මාන්ත ශාලාවට අයත් යන්ත්‍ර සූත්‍ර තවත් දිරා යාමට ඉඩ නොදී නිසි ඇස්තමේන්තුවකට ලක් කරන මෙන් ඉහත කී ආරක්ෂක නිලධාරීහු ඉල්ලා සිටිති.

කන්තලේ සහ 'අනිත්‍ය'

නිශ්චිත ක්‍රමවේදයකට අනුව අබලි යකඩ අලෙවි කර මෙතෙක් කර්මාන්ත ශාලාව රැකගත් තමන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන මෙන් මාස හතක් පඩි රහිතව එහි සේවයේ නිරතව සිටින ආරක්ෂක නිලධාරීන්ගෙන් ඇතැමෙක් ඉල්ලා සිටිති.

"සේරුවාවිල වන්දනා ගමන් ගිය අය ඉස්සර යන ගමන් මේක බලලා ගියා. මේක අභාවයට ගිහින් තියන හැටි බලන්න දැන් සමහරු එනවා. දැන් සේරුවිල යන්න ඕනි නැහැ, මෙතනට ඇවිත් අනිත්‍ය බලා ගන්න පුළුවන්," එක් ආරක්ෂක නිලධාරියෙක් පැවසීය.

"අපි කීප දෙනා විතරයි දැන් ඉතිරිවෙලා ඉන්නේ. ගොඩක් අයට පනස් පහ පැනලා."

"මහත්තයෝ කහට එක බොන්න. සීනි නම් ඉවර වෙලා,"රාත්‍රියට ආහාරයට ගැනීම සඳහා රැගෙන ආ විස්කෝතුවක් පිළිගන්වමින් ආරක්ෂක නිලධාරියෙක් පැවසීය.

අප මේ සීනි වෙනුවට විස්කෝතු කන්නේ කලක් ශ්‍රී ලංකාවෙන් අඩකට පමණ සීනි සැපයූ කර්මාන්ත ශාලාව අභියස සිට නේදැයි එහි කැඩී බිඳී ගිය බැම්මක් මත සිට කහට උගුරක රස බලද්දී මට එක්වරම සිහිපත් විය.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර