බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන්ගේ මරණ පරීක්ෂණ නිගමන ප්‍රකාශයට පත් කෙරේ

Image copyright DCRFC

පසුගිය මැයි මස ශ්‍රී ලංකාවේදී මරණයට පත් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිකුරාදා (ජුලි 20) ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසිනි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ නිගමන ප්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා සිටියේ ශරීර ගත කෙරුණු හෙරොයින් මත්ද්‍රව්‍ය විෂවීම හේතුවෙන් තෝමස් හෝවර්ඩ් නමැති ක්‍රීඩකයාගේ මරණය සිදුව ඇති බවය.

තෝමස් බැටී නැමැති ක්‍රීඩකයාගේ මරණය හෙරොයින් අධිමාත්‍රාවක් ශරීරගතවීම හේතුවෙන් සිදුව ඇති බව ද එහිදී ප්‍රකාශයට පත් විය.

මියගිය පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා සහ සෙසු පොලිස් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගෙන අදාළ තීන්දුව ලබා දුන් බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

Image caption ක්‍රීඩකයන් දෙදෙනා මියගියේ කොළඹ නවලෝක රෝහලේදීය

කෙසේ වෙතත් අදාළ මරණ සාපරාධී ක්‍රියාවක් හෝ අපරාධයක් නිසා සිදුව ඇති බවට සාක්ෂි අනාවරණය වී නොමැති බව ද මහෙස්ත්‍රාත්වරිය කියා සිටියාය.

ඒ අනුව මියගිය පුද්ගලයන්ට අදාල මරණ සහතික ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතීන් වෙත යැවීමට කටයුතු කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළාය.

මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් කෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඔවුන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ බව පැවසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය වී ඇති බව මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පැවසුවාය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන ලෙස පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරිය එම කටයුතුවල ප්‍රගතිය අගෝස්තු මස 03 වෙනිදා ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය .

රග්බි තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය 'Clems Pirates Rugby' කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු වූ තෝමස් බැටී සහ තෝමස් හෝවර්ඩ් හදිසියේ මියගියේ සිය සංචාරය අතරවාරයේ කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විනෝදවීමෙන් අනතුරුවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර