ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, වධ දීම් සහ දෙමළ රැඳවියන් ගැන එක්සත් ජාතීන්ගේ නිර්දේශ

Image copyright AHRC

ශ්‍රී ලංකාවේ සංහිඳියාව උදාකිරීම, සංක්‍රාන්ති යුක්තිය ඉටුකිරීම, වගවීම ක්‍රියාත්මක කිරීම සහ ත්‍රස්ත විරෝධී ක්‍රියාවලිය ඇතුළු ආරක්ෂක අංශවල සංශෝධන දියත් කිරීම "සම්පූර්ණයෙන්ම නතර වී ඇති සෙයක්" දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ අලුත්ම වාර්තාවක දැක්වේ.

විශේෂයෙන්ම තවමත් නීති පොතෙන් ඉවත්කොට නැති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යොදාගනිමින් තවමත් රැඳවියන් වධ බන්ධනවලට ලක් කෙරෙන බව ද ත්‍රස්තවාදය පිටුදකිමින් මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත යොමු කරන ලද වාර්තාවේ සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ ද සම අනුග්‍රහයෙන් මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරන ලද 30/1 යෝජනාව ප්‍රකාර සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති කිසිදු පියවරක් "සැබෑ ප්‍රගතියක් ලෙස සැලකිය නොහැකි" බව ද විශේෂ නියෝජිතයා සඳහන් කරයි.

විශේෂ නියෝජිත බෙන් එමර්සන්, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් පසුගිය වසරේ ජුලි 10 වෙනිදින සිට 14 වෙනිදින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවිය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ඒ යටතේ අත්අඩංගුවට ගනු ලැබූ රැඳවියන් වධ බන්ධනයන්ට ලක් කිරීම ඇතුළු කරුණු කිහිපයක් එහිදී ඔහුගේ දැඩි අවධානයට ලක්විය.

Image caption විශේෂ නියෝජිතයාගේ නිර්දේශ
Image caption විශේෂ නියෝජිතයාගේ නිර්දේශ

සිය සංචාරයේ පූර්ව නිගමන ඇතුළත් වාර්තාවක් ඔහු විසින් සංචාරය අවසානයේ ශ්‍රී ලංකා රජය වෙත භාරදෙනු ලැබිණ.

විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2016 අග භාගයේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගෙන් 80% ක්ම තමන් වධ බන්ධනවලට ලක් කළ බවට පැමිණිලි කිරීම පිළිබඳව සිය බරපතල අවධානය පළ වී තිබෙන බව සංචාරය අවසානයේ කොළඹ දී මාධ්‍ය අමතමින් බෙන් එමර්සන් සඳහන් කළේය.

ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් මණ්ඩලයේ 40 වෙනි සැසිවාරය වෙනුවෙන් විශේෂ නියෝජිතයා විසින් සංස්කරණය නොකරන ලද සිය අවසාන වාර්තාව සඳුදා (ජුලි 23) ප්‍රකාශයට පත් කර තිබේ.

සිය වාර්තාව මගින් ඔහු ප්‍රධානම අවධානය යොමු කොට තිබෙන්නේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ 30/1 යෝජනාවෙන් ප්‍රතිඥා දී ඇති ආකාරයට ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි නොකිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙසින් එම පනත යොදාගෙන දිගින් දිගටම කෙරෙන වධ බන්ධන කෙරෙහිය.

ත්‍රස්ත මර්දන ක්‍රියාවලිය එහි අධිකාරිය යටතේ සැලසුම් සහගතව ගෙන යන මානව හිමිකම් කඩකිරීමේ බරපතල ක්‍රියාදාමයෙන් තවමත් කිලිටිව පවතින බව බෙන් එමර්සන් සිය නිගමනවලින් පෙන්වා දෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඇති නව කෙටුම්පත ආරක්ෂක අංශවල අරමුණු ප්‍රධාන වශයෙන් ම පිළිබිඹු වන බවත් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ පදනමට හොඳින් ගැලපෙන තත්ත්වයෙන් බොහෝ දුරස් බවත් ඔහුගේ නිගමනවල දැක්වේ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස සාධාරණය ඉටු නොවීම හේතුවෙන් අති විශාල පුද්ගලයින් පිරිසක් වින්දිතයින් වී ඇති අතර නිරන්තරව මෙන්ම සැලසුම්සහගතව වධ බන්ධන උපයෝගී කරන්නන් වෙනුවෙන් ආරක්ෂාකාරී තත්ත්වයක් තවදුරටත් පවතින බව පෙන්වා දෙයි. දෙමළ ප්‍රජාව තවදුරටත් ගර්හාවට ලක්ව අවවරප්‍රසාදිතව සිටින අතර අනෙකුත් සුළුතර ජනකොටස්වල විශ්වාසය ක්‍රමයෙන් සේදී යමින් ඇති බව ද බෙන් එමර්සන් සිය නිගමනවලින් කියා සිටී.

නිර්දේශ මොනවාද?

ත්‍රස්තවාදය පිටුදකිමින් මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් සිය අවසන් වාර්තාව මගින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත නිර්දේශ 22 ඉදිරිපත් කොට තිබේ:

  1. නව පනතක් හඳුන්වා දෙන තුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන කෙරෙන සියලු අත්අඩංගුවට ගැනීම්වලට වහාම විරාමයක් තැබීම
  2. යෝජිත නව ත්‍රස්ත විරෝධී නීතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව සකස් කිරීම
  3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන දැනට රඳවාගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම අධිකරණ පුනරීක්ෂණයක් පැවැත්වීම
  4. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින සියලු දෙනා සම්බන්ධයෙන් සාධාරණ අධිකරණ විභාග පැවැත්වීම
  5. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ලබාගන්නා ලද පාපොච්ඡාරණ ඔවුන්ට එරෙහි විමර්ශන සඳහා යොදා නොගැනීම
  6. පාපොච්ඡාරණ ප්‍රධාන සාක්ෂියක් වශයෙන් යොදාගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදිකරුවන් බවට පත්කරනු ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් පුනරීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම
  7. රඳවා තබාගන්නා ස්ථානවලදී වධ බන්ධන පැණවීම සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි යාන්ත්‍රණයක් පිහිටුවීම
  8. වධ බන්ධන පැණවීමට එරෙහි වෛකල්පික ප්‍රඥප්තියට වහාම අත්සන් තබා එය ක්‍රියාත්මක කිරීම
  9. වධ බන්ධන පැමිණවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීම පිණිස ජාතික මානව හිමිකම කොමිසමට අවශ්‍ය සියලු සම්පත් සපයාදීම
  10. මානව හිමිකම් ක්‍රියාකාරීන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හිරිහැර කිරීම සහ ඔවුන් සම්බන්ධ තොරතුරු රැස්කිරීමෙන් වලකින මෙන් සිය ආරක්ෂක අංශවලට ප්‍රසිද්ධියේ උපදෙස් නිකුත් කිරීම
  11. සංහිඳියාව සහ ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීමේ පියවරක් ලෙසින් උතුරු පළාතෙන් හමුදාව ඉවත් කරගැනීම

එම නිර්දේශ අතර පවතී.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාගේ වාර්තාව පිළිබඳ ප්‍රතිචාරය ලබාගැනීම පිණිස අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාළ සහ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

අදාළ වාර්තාව පිළිබඳ පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා අදහස් දක්වන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළ අතර, වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එයට නිල ප්‍රතිචාරයක් දැක්වීමට විදේශ අමාත්‍යංශය සැලසුම් කරන බව ද බීබීසී යට දැනගැනීමට ලැබිණ.

මේ අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේ නිවේදනයක් නිකුත් කළ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ 2017 වසර වනවිට පහරදීම් සහ වධදීමේ චෝදනා යටතේ පොලිස් නිලධාරීන් 33 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර, එක් නිලධාරියෙකු සේවයෙන් පහකර ඇති බවය. ඒ අවස්ථාව වනවිට තවත් නිලධාරීන් 100 දෙනෙකුට එරෙහි චෝදනා ගැන විමර්ශන පැවැත්වෙමින් තිබෙන බව ද විදේශ අමාත්‍යංශ ලේකම් ප්‍රසාද් කාරියවසම්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් විය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
පොලිසියට එරෙහිව 'දහසකට වැඩි පැමිණිලි'

මානව හිමිකම් කොමිසම

එක්සත් ජාතීන්ගේ වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීම පිණිස ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි, මහාචාර්ය දීපිකා උඩගම ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය ද සාර්ථක නොවීය.

කෙසේ වුවත් මීට ඉහතදී බීබීසී සමග කරුණු දක්වමින් ආචාර්ය උඩගම කියා සිටියේ 2017 වසරේ මුල් කාර්තු තුනේ දී ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව පැමිණිලි දහසකට (1000) වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවය.

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, සිර භාරයේ තබා ගැනීම් සහ වධහිංසාවන්ට ලක් කිරීම් එම පැමිණිලි අතර ප්‍රමුඛස්ථානය ගන්නා බවත් සභාපතිනිය කියා සිටියාය.

එම පැමිණිලිවලින් බහුතරය පොලිසියට එරෙහිව ඒවා වන අතර තවත් සමහරක් උතුරු නැගෙනහිර බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් වූ ඒවා බවත් මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

Image caption විශේෂ නියෝජිතයාගේ වාර්තාවේ නිගමන

මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාගේ වාර්තාව පෙන්වාදෙන පරිදි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සැකකරුවන් අතරින් 12 දෙනෙකු කිසිදු නඩු පැවරීමකින් තොරව වසර දහයකට වැඩි කාලයක් රඳවා සිටින අතර, තවත් 70 දෙනෙකු වසර පහකට වැඩි කාලයක් නඩු පැවරීමකින් තොරව රඳවාගෙන සිටී.

එමෙන්ම ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වාර්තා තැබීම ආරම්භ වූ මොහොතේ පටන් රැඳවියන්ට වධ බන්ධන පැණවීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ පොලිස් නිලධාරීන් 71 දෙනෙකුට එරෙහිව පමණි.

තවත් කියවන්න: