ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන මේ කරුණු දැන සිටියාද?

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පවතින අනවසර ඉදිකිරීම් සහ එම ක්‍රිඩාංගනයේ අනාගතය සම්බන්ධයෙන් මේ දිනවල දැඩි අවධානයක් යොමු වෙමින් පවතී. ඒ ක්‍රිඩාංගනයේ පිහිටි අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බවට යුනෙස්කෝ ආයතනය අනතුරු ඇඟවීමත් සමගය. පහත දැක්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ඉතිහාසය සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ පසුවිපරමකි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් බද්දට ගෙන පවත්වාගෙන යන දේපළකි.

ක්‍රීඩාංගනයේ වසරකට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග සීමිත සංඛ්‍යාවක් පැවැත්වෙන අතර ඇතැම් වසරවලදි එකදු තරගයක් හෝ නොපැවැත්වෙන තරම්ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණ අත්කරදෙන ක්‍රීඩාංගනයක් ලෙස ද එය සැලකේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉතිහාසය 18 වෙනි සියවස දක්වා දිවයයි. එකල මඩ ගොහොරුවක් ලෙස පැවති ක්‍රීඩාංගන භූමිය ක්‍රම ක්‍රමයෙන් ගොඩ කර 1876 වසරේදී තුරඟ තරග පිටියක් ලෙස එය ආරම්භ වී ඇත. තුරඟ තරග සඳහා මෙම ස්ථානය විශාල ප්‍රසිද්ධියක් ලබා ඇත. විදෙස් රටවල සිට පවා තරග වැදීම සඳහා මෙහි ක්‍රිඩකයින් පැමිණ ඇති බව සඳහන් වේ.

ඉන් පසු තුරඟ තරග පැවැත්වීම ක්‍රමයෙන් අභාවයට යෑමත් සමඟ පාපන්දු ක්‍රිඩාව මෙහි ජනප්‍රිය වී ඇති අතර එහි ක්‍රිකට් තරග පැවැත්වීම ආරම්භ වී ඇත්තේ 1927 වසරේදීය.

ඉන්පසු 1930 වසරේ නොවැම්බර් මස එවක ගාල්ල මහ දිසාපතිවරයා විසින් ක්‍රිඩාපිටිය මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගාල්ල මහ නගර සභාවට පවරා දෙනු ලැබූ බව ගාල්ල මහ නගර සභාව පවසයි.

කෙසේ වුවත් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ ක්‍රීඩාංගනය පිහිටි භූමිය සිය ආයතනය යටතට අයත් රජයේ දේපලක් බවය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල සේවය මේ සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසිමක් කළ අවස්ථාවේ, සිය පිළිතුර සමඟ අනු රේඛණ මැනුම සඳහන් සැලස්මක පිටපතක් ද ඒවා තිබුණි. මේ අනුව මෙම ක්‍රීඩාංගනයේ අයිතිය සම්බන්ධව ගාල්ල මහ නගර සභාව සහ කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අතර මතභේදයක් පවතින බව පැහැදිලිව දක්නට ලැබේ.

කලක් මුළුල්ලේ ගාල්ලේ පාසල් දරුවන් සහ තරුණ තරුණියන් සිය ක්‍රීඩා කටයුතු සහ පුහුණුවිම සඳහා යොදා ගත් මෙම ක්‍රිඩා පිටිය මහ නගර සභාවට පවරනු ලැබීමෙන් පසුව එය මහජන ක්‍රිඩාපිටියක් ලෙස ගාලු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා ලදි.

ඒ අතරවාරයේ ගාල්ල මහ නගර සභාව විසින් එවක ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත වසර 30 ක කාලයකට බදු ඔප්පුවකින් පවරාදෙනු ලැබුවේ 1998 දීය.

ගාල්ල මහ නගර සභාව බදු දීමනාකාර පාර්ශවය ලෙස ද බදු ගැණුම්කාර පාර්ශවය ලෙස ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ද එක්ව මෙම බදු ගිවිසුම 1998 අප්‍රේල් 04 වන දින සිට 2028 අප්‍රේල් 04 දින දක්වා වසර 30 ක කාලයක් සඳහා ගාල්ල මහ නගර සභාව විසින් මෙම ක්‍රීඩා පිටිය ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත බදු දි ඇත. එවකට ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලයනල් ප්‍රේමසිරි සහ නාගරික කොමසාරිස් ඒ.ඩබ් ගුණරත්න සහ ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් එවක එහි සභාපති තිලංග සුමතිපාල සහ උප සභාපති අනුරුද්ධ පොලොන්නෝවිට අතර මෙම බදු ගිවිසුම අත්සන් කර තිබේ.

1998 අප්‍රේල් 20 දින සිට 2008 අප්‍රේල් 19 දින දක්වා වන ප්‍රථම වසර දහය සඳහා රුපියල් ලක්ෂ තිහකට (රු 30,00,00) බදු දි ඇත. මෙලෙස වසර 10 ක් බදු කාල සිමාවන් තුනකට යටත්ව පුරා වසර තිහකට මෙම ක්‍රිඩා පිටිය බදු දි ඇති අතර රජයේ තක්සේරු විසින් වසර 5 කට වරක් තක්සේරුවක් සිදුකර එම වැඩි වන මුදල ද ශ්‍රි ලංකා ක්‍රිකට් මණ්ඩලය විසින් ගාල්ල මහ නගර සභාවට ගෙවන ලෙස එහි සඳහන්ය. අවසාන වශයෙන් 2008 සිට මෙම බදු ගිවිසුම ගාල්ල මහ නගර සභාව විසින් අලුත් කර නොමැති බව දැනගන්නට තිබේ.

ඒ පිළිබඳ දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර ගෙන් විමසිමක් කළ විට ඔහු කියා සිටියේ මෙම බදු ගිවිසුම 2008 වසරේ සිට අලුත් කර නොමැති බවය. කෙසේ වෙතත් මේ සම්බන්ධව නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ගෙන් විමසිමක් කළ විට ඔහු කියා සිටියේ ඉදිරියේදී සංශෝධන සහිතව ගිවිසුම අලුත් කිරිමට බලාපොරත්තු වන බවය.

මෙම බදු ගිවිසුම ප්‍රධාන කොන්දේසි 27 කින් සමන්විත වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට අමතරව අනෙකුත් තරග පැවැත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, නාගරික කොමසාරිස්, නාගරික ගණකාධිකාරි, නාගරික ඉංජිනේරු, දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නියෝජිතයෙකු, ක්‍රිකට් පාලක මණ්ඩලයේ නම් කල නියෝජිතයින් තිදෙනෙකු සහ දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නියෝජිතයෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බදු ගත් මෙම දේපළ ජාත්‍යන්තර මෙන්ම ජාතික සහ ප්‍රාදේශිය ක්‍රිකට් තරග පැවත්විම සඳහා ද ඒවාට අදාල පුහුණුවිම් සඳහා මෙන්ම ගාල්ල මහ නගර සීමාව තුළ සහ ගාල්ල දිස්ත්‍රික් මට්ටමේ පිහිටි රජයේ හෝ රජයේ අනුග්‍රහය ලබන පාසල් විසින් හෝ පාසල් අතරේ පවත්වනු ලබන වාර්ෂික මළල ක්‍රිඩා සහ ක්‍රිකට් තරග පැවැත්වීම සඳහා මෙම කමිටුවේ නිර්දේශ මත මෙම ක්‍රීඩා පිටිය ලබාදීමට ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම බදු ගිවිසුම මගින් බැඳී සිටියි.

මෙලෙස මෙම ගිවිසුමේ සඳහන් වුවත් මෙම ක්‍රිඩාපිටිය සවුත්ලන්ඩ් විද්‍යාලයට පමණක් වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ලබාදෙන අතර ගාල්ලේ පිහිටි ක්‍රිඩාපිටි නොමැති අනෙකුත් පාසල්වල ක්‍රීඩා උත්සව පැවැත්වීම සඳහා මෙම ක්‍රීඩා පිටිය ලබා නොදෙන බවට සිසු දරුවන් සහ නගරවාසීන් චෝදනා කරති.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බදුගත් මෙම ක්‍රීඩාංගනයේ ඉදි කරනු ලබන සියලුම ඉදිකිරිම් සඳහා බදු දීමනාකාර පක්ෂයෙහි පූර්ව අනුමැතිය ලබාගත යුතු බවට වූ කොන්දේසියකට ද මෙම ගිවිසුමේ එකඟ වි ඇත.

එය එසේ තිබියදී ක්‍රීඩාංගනයේ අනවසර ඉදිකිරිම් කිහිපයක් ඉදිකර ඇති බැවින් ඒවා ඉවත් කරන ලෙස පසුගිය වසරේ යුනෙස්කෝ සංවිධානය විසින් ශ්‍රි ලංකාවට දන්වනු ලැබීය.

හැකි ඉක්මණින් ගාලු කොටුව තුල සහ ක්‍රිකට් ක්‍රිඩාංගණයේ ඉදිකර ඇති මෙම අනවසර ඉදිකිරිම් ඉවත් නොකළහොත් ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරිමේ අවදානමක් මතුවන බවත් ඔවුන් ශ්‍රි ලංකාවට දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් සහ ගාලු උරුමය පදනමෙන් විමසීමක් කළ විට ඔවුන් ද මෙම කරුණ තහවුරු කළහ.

තවත් කියවන්න: