රුපියල් ලක්ෂ දහයක් වටිනා නීති විරෝධී පොලිතීන් ආහාර දවටන තොගයක් අත්අඩංගුවට

පාරිභෝගික සේවා අධිකාරිය, පරිසර පොලිස් ඒකකය හා මධ්‍යම පරිසර අධිකාරිය වැටලීම සිදු කළේය.
නීතියෙන් තහනම් කරන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් පොලිතීන් තොගයක් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත් නිෂ්පාදනය හා අලෙවි කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික සේවා අධිකාරිය සමග පරිසර පොලිස් ඒකකය හා මධ්‍යම පරිසර අධිකාරිය බදාදා (ජුලි 25) කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමක දී අදාළ පොලිතීන් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
ආහාර එතීම සඳහා භාවිත කරන දවටන (ලන්ෂීට්) ඇතුළු ආහාර දවටන 164,750 ක් එහි තිබී සොයා ගත් බව, මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මොහොමඩ් සලහුඩීන් නමැති පුද්ගලයෙක් කුලියට ලබාගත් නිවසක, නීති විරෝධී පොලිතීන් නිෂ්පාදනය කර ඇති බවත්, වසර 3 ක පමණ කාලයක සිට එකී නිෂ්පාදන සිදු කර ඇති බවත්, ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සැකකරුට විරුද්ධව මාළිගාකන්ද අධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශයේ අධ්යක්ෂවරයා පැවසීය.
ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමට රටවල් පනහක් මේ වනවිට විවිධ පියවර ගෙන ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ වාර්තාවක සඳහන් විය.
ශ්‍රී ලංකාවේ ස්ටයිරෝෆෝම් (Styrofoam) භාවිතය තහනම් කිරීමටත්, ගලපාගෝස් දුපත්වල තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් තහනම් කිරීමටත්, චීනය දිරාපත් වන ප්ලාස්ටික් බෑග් භාවිතයට යොමු වීමටත් කටයුතු කරමින් සිටින බව එම වාර්තාවේ ඇතුළත්ව ඇත.
නමුත්, ගංගා සහ සාගරයට මහා පරිමාණයෙන් ප්ලාස්ටික් එකතුවීම අවම කිරීමට තවත් බොහෝ පියවර අනුගමනය කළ යුතු බව එම වාර්තාවේ කතුවරු අනතුරු අඟවති.
බොහෝ රටවල ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ඉතා හොඳ ප්‍රතිපත්ති හඳුන්වා දී ඇතත්, ඒ කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.
පොලිතින් සහ ප්ලාස්ටික් කසළ කළමනාකරණය කිරීම සහ අවම කිරීම සඳහා ලොව බොහෝ රටවල් මේවනවිට පියවර ගනිමින් සිටිති.
පොලිතීන් පාලනයට ශ්‍රී ලංකාව ගත් පියවර සම්බන්ධයෙන් දේශීය ව්‍යාපාරික ප්‍රජාව වෙතින් යම් විරෝධයක් පළවූ අතර 'පොලිතින් භාවිතය තහනම් කිරීමට එරෙහිව උද්ඝෝෂණ කළ' එකම රට ශ්‍රී ලංකාව විය හැකි යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊට ප්‍රතිචාර දක්වමින් මෑතකදී ප්‍රකාශ කර තිබිණි.
ලෝක සාගර දිනය: මුතු මතුවුණු සාගරේ කසලින් කිම කෙලෙසුනේ
2015 වසරේ පරීක්ෂණ වාර්තාවකට අනුව ලොව වෙරළ කලාපය දුෂණය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට වර්ගීකරණය කර තිබිණ.