ගෝඨාභය ඝාතන තැත: "පාපොච්ඡාරණය ස්වාධීන නැහැ"

Image caption ගෝඨාභය රාජපක්ෂ

2006 වසරේදී එවක ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි අයියර් ශ්‍රී ස්කන්ධරාජා නැමැති හින්දු පූජකවරයා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

කොල්ලුපිටිය, පිත්තල හන්දිය ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර, ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන්, ආධාර අනුබල ලබා දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ඔහු වසර දොළහකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසු විය.

විත්තිකරු විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශයට ලබා දෙන ලද පාපොච්චාරණය, ඔහු විසින් ස්වේච්ඡාවෙන් ලබාදී නොමැති බව, ඒ පිළිබඳව අධිකරණය හමුවේ පැවැත්වූ සාක්ෂි විභාගයේදී අනාවරණය වී ඇතැයි, කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් විවෘත අධිකරණයේ සඳහන් කළේය.

"මෙම විත්තිකරුට එරෙහි නඩුව පවරා තිබෙන්නේ ඔහු විසින් පොලිසියට ලබාදුන් බව කියන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ පාපොච්චාරණයක් පදනම් කරගෙන. එම පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් නොවන බව විත්තියේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ තර්ක ගොඩනගා තිබුණා. එම නිසා, එම පාපොච්චාරණය ස්වාධීන භාවය පිළිබඳව පරික්ෂා කිරීම සඳහා විශේෂ සාක්ෂි විභාගයක් ද අධිකරණය හමුවේ සිදු කරනු ලැබුවා" යනුවෙන් මහාධිකරණ විනිසුරුවරයා පැවසීය.

එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ, ඔහු විසින් සිදු කරන ලද පාපොච්චාරණයට අමතරව විත්තිකරුට එරෙහිව වෙනත් සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීමට නොහැකි බවය.

විත්තිකරු නිදහස ලබන විට අඛණ්ඩව වසර 12 කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී ඇති බව ද නඩු විභාගයේදී අනාවරණය විය.

Image copyright Getty Images

2006 වසරේ අගෝස්තු මස 01 වෙනිදා සහ 2006 වසරේ දෙසැම්බර් මස 01 වෙනිදා දක්වා කාලසීමාව තුළ, කොල්ලුපිටිය පිත්තල හන්දිය ප්‍රදේශයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීම සහ ඔහුගේ ආරක්ෂකයින් තිදෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවලට අදාළව ආධාර අනුබල දුන්නේයැයි පවසමින් අයියයි ශ්‍රී ස්කන්ධරාජා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

මේ අතර, ශ්‍රී ලංකාවේ සංහිඳියාව උදාකිරීම, සංක්‍රාන්ති යුක්තිය ඉටුකිරීම, වගවීම ක්‍රියාත්මක කිරීම සහ ත්‍රස්ත විරෝධී ක්‍රියාවලිය ඇතුළු ආරක්ෂක අංශවල සංශෝධන දියත් කිරීම "සම්පූර්ණයෙන්ම නතර වී ඇති සෙයක්" දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයක නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.

විශේෂයෙන්ම, තවමත් නීති පොතෙන් ඉවත්කොට නැති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) හේතුවෙන් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් විවිධ වධ බන්ධනවලට ලක් කෙරෙන බව, ත්‍රස්තවාදය පිටුදකිමින් මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත යොමු කරන ලද නව වාර්තාවේ සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ ද සම අනුග්‍රහයෙන් මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරන ලද 30/1 යෝජනාව ප්‍රකාර, 'සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක කිරීම' සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති කිසිදු පියවරක් "සැබෑ ප්‍රගතියක් ලෙස සැලකිය නොහැකි" බව ද විශේෂ නියෝජිතයා සඳහන් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර