වවුනියාව: දරුවන් 12 ක් ගමන් කළ ත්‍රිරෝද රථයක් බස් රියක ගැටෙයි

වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී සඳුදා (30) දහවල් ත්‍රිරෝද රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් පාසල් දරුවෙක් ජිවිතක්ෂයට පත්ව තවත් දරුවන් 11 දෙනෙක් තුවාල ලබා ඇති බව පුලියන්කුලම පොලිසිය පවසයි.

පුලියන්කුලම ප්‍රදේශවාසීන් පැවසූවේ අනතුර සිදුවන අවස්ථාවේ දරුවන් 12 දෙනෙකු ත්‍රිරෝද රථයේ ගමන් කොට ඇති අතර, ත්‍රිරෝද රථ රියදුරු සමග 13 දෙනෙකු ත්‍රිරෝද රථයේ ගමන්කොට ඇති බවය.

මෝටර් රථවාහන පනතට අනුව ත්‍රිවිලර් රථයක ගමන් කළ හැකි උපරිම පාසල් දරුවන් ප්‍රමාණය හයක් බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව හා අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේය.

"ත්‍රිරෝද රථයක යන්නට අවසර ඇත්තේ පොඩි දරුවන් හයදෙනෙක්ට පමණයි. වැඩිහිටියන් නම් ගමන් කළ හැක්කේ තුන්දෙනෙක්ට පමණයි," ඔහු පැවසීය.

ත්‍රිරෝද රථ පදවන්නන් හා යතුරු පැදි ධාවකයින් "වැඩියෙන් ම අනතුරුවලට භාජනය වන පිරිස" ලෙස පොලිසිය පවසයි.

පුලියන්කුලම හින්දු ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලද පාසල් දරුවන් නැවත නිවෙස් කරා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ කොළඹ සිට යාපනය බලා ධාවනය වූ ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක ත්‍රිරෝද රථය ගැටී තිබේ.

පොලිසියට අනුව අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු ද තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇත.

තුවාල ලැබූ දරුවන්ගේ තත්වය තරමක් බරපතල වන බව ද පොලිසිය පැවසීය.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර