'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි"

Image copyright Cyril Wijesundara
Image caption 'ඉන්දියන් සල් ගසේ' සහ 'කාලතුවක්කු උණ්ඩ ගසේ' මල්

ශ්‍රී ලංකාවේ දැකිය හැකි ඇතැම් ශාක වන්දනාමානයට මෙන්ම ගෞරවයට ද පාත්‍ර වන්නේ ඉතිහාස පත පොතේ සඳහන්, ආගමික සංසිද්ධි ආශ්‍රයෙන් කියවෙන මෙන්ම ජනප්‍රවාදයේ එන ඇතැම් සුවිශේෂී සිදුවීම් හා බැඳී පැවැත්වීම හේතුවෙනි.

ගෞතම බුදු රදුන්ගේ තෙමඟුල හා සම්බන්ධ රුක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

සිදුහත් උපත මෙන්ම බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේ සෙවන දුන් බව පැවසෙන සල් ගස ඊට එක් උදාහරණයකි.

"අමර නයනා සල් ගස යට බලන්න, අර බලන්න අර සල් මල ලස්සනයි, මම ඒ මල කඩන්නද?" යනුවෙන් කලක් පළමු ශ්‍රේණිය සිංහල පෙළ පොතට ඇතුළත්වූ ගද්‍ය කොටස ද සල් ගස හා බැඳුනු අතීත මතක අවදි කරයි.

ශ්‍රී ලාංකිකයන්ගෙන් අතිබහුතරය සල් ගස ලෙස හඳුන්වනු ලබන්නේ සිංහල පෙළ පොතේ චිත්‍රයට නගා තිබෙන ආකාරයේ කඳේ මල් සහ වටකුරු ගෙඩි හටගන්නා ශාක විශේෂයකටය. එහි උද්භිද විද්‍යාත්මක නාමය Couroupita guianensis වේ.

එනමුත්, Couroupita guianensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'කාලතුවක්කු උණ්ඩ ගස' නමැති ශාක විශේෂය, සල් ගස ලෙස ශ්‍රී ලාංකිකයන් විසින් වරදවා වටහාගනු ලැබ ඇති බව උද්භිද විද්‍යාඥයෝ පවසති.

Image caption පළමු ශ්‍රේණිය සිංහල පෙළ පොතේ චිත්‍රයට නගා තිබූ කඳේ මල් හට ගන්නා 'කාලතුවක්කු උණ්ඩ ගස'

"සල් ගහ කියලා ලංකාවේ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඉන්දියානු උපමහාද්වීපය කිට්ටුවකවත් නැති දකුණු ඇමරිකාව නිජබිම කර ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාවට හඳුන්වා දුන් ශාකයක්,"

"ඒ ගහට ඉංග්‍රීසියෙන් කියන්නේ කැනන් බෝල් ට්‍රී, මොකද එහි ගෙඩිය නැතිනම් ඵලය හරියට කාලතුවක්කු උණ්ඩයක් වගෙයි," යනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම උද්භිද විද්‍යාඥයකු සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.

'කාලතුවක්කු උණ්ඩ ගස' බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1881 වසරේදී බව මහාචාර්යවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

1893-1900 කාලය තුළ සම්පාදනය කෙරුණු 'Flora of British Ceylon' නමැති ග්‍රන්ථාවලියට පෙර ලියවුනු 'Flora of British India' නමැති අත්පොතේ හඳුන්වා දීමේ ශාකයක් වශයෙන් හෝ 'කාලතුවක්කු උණ්ඩ ගස' පිළිබඳ සඳහනක් නොමැති බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.

'කාලතුවක්කු උණ්ඩ ගස', සල් ගස ලෙස වරදවා වටහා ගැනීම ශ්‍රී ලංකාව මෙන්ම තායිලන්තය තුළත් දැකිය හැකි බව කී මහාචාර්යවරයා," මට හිතෙන විදිහට තායිලන්තයටත් මේ වැරැද්ද හඳුන්වා දෙන්න ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වෙන්න ඇති. නමුත් මේ ශාකය ඉන්දියාවේ, ලංකාවේ අඩුම තරමේ ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි. මෙය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් විසිතුරු ශාකයක්,"

හය වෙනි ජෝර්ජ් රජු

Image copyright Shirly Upul Kumara
Image caption "ශාකය සිටවන අවස්ථාවේ එහි ස්ථාපනය කරන ලද නාම පුවරුවේ සඳහන් කර තිබෙන්නේ සල් කියලා නෙවෙයි,එහි සිංහලෙන් සඳහන් වෙන්නේ කුරෝපිටා කියන මේ ශාකයේ ඝන නාමය,"

1901 වසරේ අප්‍රේල් 14 වෙනි දින පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට පැමිණි එවක බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වූ හය වෙනි ජෝර්ජ් රජු විසින් එහි 'කාලතුවක්කු උණ්ඩ ගසක්' රෝපණය කරනු ලැබීය.

එවක 'කාලතුවක්කු උණ්ඩ ගස' සඳහා 'සල්' නමැති නාමය භාවිත නොකෙරුණු බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.

"ඒ ශාකය සිටවන අවස්ථාවේ එහි ස්ථාපනය කරන ලද නාම පුවරුවේ සඳහන් කර තිබෙන්නේ සල් කියලා නෙවෙයි,එහි සිංහලෙන් සඳහන් වෙන්නේ කුරෝපිටා කියන මේ ශාකයේ ඝන නාමය. කුරෝපිටා කියලා නම් කරන්න ඇත්තේ ඒ කාලේ මේකට සිංහල නමක් තිබුනේ නැති නිසා වෙන්න පුළුවන්,"

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සල් ගස කුමක්ද?

සල් ගස සංස්කෘත භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ 'ශාල' යනුවෙනි. එය පාලි බසින් 'සාල' ලෙස හැඳින්වේ.

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ දක්නට ලැබෙන Shorea robusta නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'ඉන්දියන් සල්' ශාකය සිදුහත් උපත හා සම්බන්ධ යයි සිතිය හැකි බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.

"නේපාලයේ අදටත් සල් වනාන්තර තිබෙනවා.ඒ ශාකය අපේ රටේ තිබෙන හොර, හල් වගේ ශාක කුලයට අයත් ශාකයක්. එය ආසියානු කලාපයේ තිබෙන හොඳම දැව ශාක තුනෙන් එකක්.නේපාලයේ මෙය දකින්න පුළුවන් නිසා සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ මේ කියන සල් ගහක් යට කියන එක විශාල පිරිසක් පිළිගන්නවා ,"

කෙසේ නමුත් සිද්ධාර්ථ කුමරු උපත ලද්දේ 'අසෝක' ගසක් යට බවට නේපාලයේ ඇතැම් ඉතිහාසඥයන් අතර මතයක් පවතින බව ද මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.

Image copyright Shirly Upul Kumara
Image caption නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේව් රජු විසින් රෝපණය කරන ලද 'ඉන්දියන් සල්' ගස

1980 වසරේ පෙබරවාරි 25 වෙනි දින නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේවි රජු විසින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ රෝපණය කරන ලද 'Shorea Robusta' ශාකය සිංහල භාෂාවෙන් නම් කර ඇත්තේ 'ඉන්දියන් සල්' ලෙසය.

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ දක්නට ඇති 'ඉන්දියන් සල්' ගසේ (Shorea robusta) සහ ශ්‍රී ලංකාව තුළ සල් ලෙස බහුල වශයෙන් හැඳින්වෙන කාලතුවක්කු උණ්ඩ ගසෙහි (Couroupita guianensis) දක්නට ඇති ව්‍යුහාත්මක සහ බාහිර වෙනස්කම් මොනවාද?

Image copyright Shirly Upul Kumara
Image caption 'ඉන්දියන් සල්' ගස (Shorea robusta) සහ ශ්‍රී ලංකාව තුළ සල් ලෙස බහුල වශයෙන් හැඳින්වෙන කාලතුවක්කු උණ්ඩ ගසෙහි (Couroupita Guianensis) බාහිර ස්වරූපය

මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසන පරිදි ඉන්දියන් සල් ගසේ:

  • තෙක්ක ගසට සමාන අතු නොබෙදෙන කඳක් දැකිය හැක.
  • පත්‍ර, 'කාලතුවක්කු උණ්ඩ ගසේ' පත්‍ර තරම් දිගටි නොවන අතර තරමක් ලා පැහැයක් ගනී
  • මල් තරමක් සුදු පැහැයෙන් යුක්ත වන අතර මලේ පත්‍ර ඇතුළට නැමී පවතී. අතු අග මල් හට ගනී.
  • කඳ මත ගෙඩි හට නොගන්නා අතර කඩල ඇටයකට සමාන ප්‍රමාණයකින් යුත් එහි ගෙඩි පියාපත් සහිතය (හොර ගෙඩිවලට සමාන ආකාරයකට)
  • පරෝහණ කාලය ඉතා කෙටිය (දින හතක් ඇතුළත රෝපණය කළ යුතුය)
  • මල් හට ගන්නේ අප්‍රේල් මාසයේය

මීට වසර අටකට පමණ ඉහතදී නිසි පාරිසරික ක්‍රමවේද අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට රැගෙන ආ 'ඉන්දියන් සල්' බීජ පේරාදෙණිය රාජකීය උද්‍යානය තුළ රෝපණය කර බෞද්ධ විහාරස්ථාන අතර බෙදා දුන් බව ද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සිරිල් විජේසුන්දර සිහිපත් කළේය.

කෙසේ නමුත් සිදුහත් උපත හා බැඳුනු ශාක සම්බන්ධයෙන් නේපාලය තුළත් විවිධ මත පවතින බව කී මහාචාර්යවරයා, "ඇතැම් කරුණු තිබෙනවා මතභේදත්මකයි. ඒ ගැන කතා කරන්න ගියොත් අපි විෂය පථයෙන් එළියට යනවා. උද්භිද විද්‍යාඥයන් වශයෙන් අපට කියන්න පුළුවන් වෙන්නේ ශාකයක ජීව විද්‍යාත්මක සහ ජීව භූගෝල විද්‍යාත්මක තොරතුරු පමණයි,"

'සල් ගස' සහ සාහිත්‍ය

Image copyright Shirly Upul Kumara
Image caption 'ඉන්දියන් සල්' ගස

ශ්‍රී ලංකාවට 'කාලතුවක්කු උණ්ඩ ගස' හඳුන්වා දුන් වසර 1881 ට ඉහතදී රචනා කරන ලද සංදේශ කාව්‍ය තුළ 'සල් මල්' නමින් හැඳින්වෙන්නේ 'කටු ඉඹුල්' මල් විය හැකි බව මහාචාර්ය සිරිල් විජේසුන්දරගේ මතය වී තිබේ.

"කටු ඉඹුල්වලට ඉන්දියාවේ කියන්නේ සල් මල් කියලා. ඒකට 'සල් මලියා මලබරිකා' කියන උද්භිද විද්‍යාත්මක නම දුන්නෙත් ඒ ස්වදේශික නම භාවිත කරලා. ඒකෙ මල් බිම වැටුනම පලසක් වගේ. ඒක කවි ලියන්න වටින ලස්සන ගහක්,"

එසේම 'සල්' නමින් ආරම්භවන ප්‍රදේශ 'හල්' යන වචනයෙන් බිඳී පැමිණ ඇතැයි සිතිය හැකි බවත් මහාචාර්යවරයාගේ අදහස වී තිබේ.